විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මෙල්බර්න් නුවරට - වික්ටෝරියා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය හමුවෙයි

Report

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් අද දින (1) මෙල්බර්න් නුවර පිහිටි රජයේ මන්දිරයේදී වික්ටෝරියා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය වන ගරු මහාචාර්ය මාග්‍රට් ගාඩ්නර් මැතිණිය හමුව ඇත.

මෙලෙස මෙම හමුව සිදුවූයේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත වන අතරතුරය.

මෙම හමුව පිළිබදව අමාත්‍යවරයා ඔහුගේ නිල X පිටුවේ තැබූ සටහන පහතින්,

අද උදෑසන මෙල්බර්න් නුවර පිහිටි රජයේ මන්දිරයේදී (Government House) වික්ටෝරියා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය වන ගරු මහාචාර්ය මාග්‍රට් ගාඩ්නර් (Margaret Gardner AC) මැතිණිය හමුවීමට ලැබීම මා ලැබූ ගෞරවයකි. ​අපගේ සාකච්ඡාව ප්‍රධාන වශයෙන් යොමු වූයේ ආර්ථික, සංස්කෘතික, අධ්‍යාපනික සහ පුද්ගලාන්තර සබඳතා ඇතුළු පුළුල් පරාසයක ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකා - වික්ටෝරියා සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳවයි. ​වික්ටෝරියා ප්‍රාන්තයේ 27 වැනි ආණ්ඩුකාරවරයා වූ අභාවප්‍රාප්ත ඩේවිඩ් ද ක්‍රෙට්සර් මහතා ඇතුළු ශ්‍රී ලාංකික ඕස්ට්‍රේලියානුවන් රැසක් එහි විවිධ වෘත්තීය ක්ෂේත්‍රයන්හි කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරන බව මම එහිදී සතුටින් සිහිපත් කළෙමි. ඔවුන් වික්ටෝරියා ප්‍රාන්තයේ වෘත්තීය ශ්‍රම බලකාය ශක්තිමත් කිරීමට මෙන්ම දෙරටේම ආර්ථිකයන් නංවාලීම සඳහා ද මහඟු දායකත්වයක් සපයයි.