පාස්කු ප්‍රහාරයේ සාපරාධී රාජකාරිය පැහැර හැරීම ගැන හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිගේ නඩු තීන්දුව දෙන දිනය

Report

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයකින් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ තීන්දුව ජුලි මස 31 වෙනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ ස්ථිර පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර තිබේ.

  මෙම නඩුව අද (15) ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය

එහිදී විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරළ මහතා වාචික දේශන ඉදිරිපත් කිරීම අවසන් කළේය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල විනිසුරු නිවේදනය කළේ මෙම නඩුවේ තීන්දුව ජූලි මස 31 වෙනිදා ප්‍රකාශයට පත් කරන බවයි .

මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයකින් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ විභාගය ද ඉකුත් සිකුරාදා අවසන් කෙරුණි.

ඒ අනුව පූජිත් ජයසුන්දර මහතාට එරෙහි නඩුවේ තීන්දුව ද ජූලි මස 31 වනදා ප්‍රකාශයට පත් කරන බවත් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉකුත් සිකුරාදා නියෝග කර ඇත.