ලෝකයම බලා සිටි සුපිරි බලවතුන්ගේ එකඟතාවය - චීනයෙනුත් කොළ එළියක්

Report

ඇමරිකා-ඉරාන අවබෝධතා ගිවිසුම චීනයෙන් සාදරයෙන් පිළිගනී ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම චීනය විසින් සාදරයෙන් පිළිගෙන ඇති අතර, එම එකඟතාවය ඇතිකර ගැනීම සඳහා පාකිස්තානය සිදුකළ මැදිහත්වීමද අගය කරන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් ජියන් සඳහන් කර ඇත.

ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය සඳහන් කළේ ටෙහෙරානය සහ වොෂිංටනය අතර අවබෝධතා ගිවිසුම අවසන් කර ඇති බවත්, ලෙබනනය ඇතුළු සියලුම පෙරමුණුහි පැවති යුදමය ක්‍රියාකාරකම් වහාම සහ ස්ථිරව නතර කර ඇති බවත්ය.

චීනය බලාපොරොත්තු වන්නේ ඇමරිකාව සහ ඉරානය නියමිත පරිදි ගිවිසුමේ පළමු අදියරට අත්සන් තබනු ඇති බවත්, අදාළ සියලු පාර්ශ්ව සාමකාමී විසඳුමක් සඳහා කැපවී සංවාද සහ සාකච්ඡා මාර්ගයෙන් මතභේද විසඳා ගනු ඇති බවත් ලින් ජියන් ප්‍රකාශ කළේය.

එමෙන්ම මැදපෙරදිග සහ ගල්ෆ් කලාපයේ සාමය සහ ස්ථාවරත්වය යළි ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක්ව නිර්මාණාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට චීනය සූදානම් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.