බිත්තරයටත් වැට් ගහන්න යනවා - බිත්තර නිෂ්පාදකයෝ
ඉදිරියේදී බිත්තර සඳහාද වැට් බද්දක් අය කිරීමේ සූදානමක් ඇති බවට කොබෙයිගනේ ප්‍රදේශයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයෝ පිරිසක් අනාවරණය කර තිබෙනවා.
එමෙන්ම බිත්තර නිෂ්පාදනය සමාගම් කීහිපයකට පමණක් සීමාවීමේ අවදානමක් ඇතැයිද ඔවුහු පවසනවා.
කුකුළු ආහාර, බෙහෙත් සහ විටමින් සඳහා වූ මිල ඩොලරයේ අගය අඩුව ඇති මෙම අවස්ථාවේදීත් පසුගිය සමයේ ඩොලරයේ අගය රුපියල් 400 සීමාව දක්වා ඉහළ ගිය අවස්ථාවේදී පැවැති මිලම වන බැවින් බිත්තරයක නිෂ්පාදන වියදම අඩුවී නැති බව නිෂ්පාදකයෝ පෙන්වා දෙනවා.
මේ වනවිට රට තුළ විශාල වශයෙන් බිත්තර නිෂ්පාදනය ඉහළ ගොස් ඇති බැවින් බිත්තරයක මිල අඩුවී ඇති බවත් ඔවුහු කියයි.
ගොවීන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොබෙයිගනේ ප්‍රදේශයේ බිත්තර නිෂ්පාදකයකු වන අරුණ චන්දිමාල්, මෙසේ කියා සිටියා.
"අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ මේ වනවිට කිසිම සීමාවකින් තොරව රටට මව් සතුන් ආනයනය කරමින් තිබෙනවා. වහාම ඒක නියාමනය කරන්න.
ඒත් එක්කම අපට දැනගන්නට ලැබිල තියෙනවා මහා පරිමාණ සමාගම් ගණනාවක් මේ වනවිට ‘බැටරි කේජ්’ ක්‍රමයට බිත්තර නිෂ්පාදනය ආරම්භ කිරීමට පොරොත්තු ලේඛනයේ සිටින බවට. එදා තිබූ අමුද්‍රව්‍ය මිල තවම අඩුවෙලා නැහැ. ඒත් බිත්තරයේ මිල අඩුවෙලා.
මේ වනවිට සෝයා කිලෝවක් රුපියල් 190.00, බඩ ඉරිඟු කිලෝව රුපියල් 160.00, සුනු සහල් 145.00, සහල් කුඩු රුපියල් 140.00 වැනි මිල ගණන්වල තියෙන්නේ. අපි කුඩා නිෂ්පාදකයන් ලොකු ප්‍රමාණවලින් මේ අමුද්‍රව්‍ය මිලදී ගන්නේ නැහැ. කිලෝ ගණන්වලින් ගන්නේ.
අපේ කුකුළු කෑම සඳහා වන වියදම ඉහළයි. මේ සඳහා වහාම රජය මැදිහත් වෙලා කටයුතු නොකළහොත් සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් සියලු දෙනා විනාශ වෙනවා."
