මුහුදු සීමාවේ සැකකටයුතු යාත්‍රා සහ වංචනික ක්‍රියා සෙවීමට ඇමෙරිකාවෙන් ලංකාවේ නිලධාරීන්ට පුහුණුව

Report

සැක කටයුතු යාත්‍රා හඳුනා ගැනීම, වංචනික සමුද්‍රීය ක්‍රියාකාරකම් අනාවරණය කර ගැනීම සහ ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ හා ඒ අවට සිදුවිය හැකි සම්බාධක මඟහැරීමේ ක්‍රියාකාරකම්වලට ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිලධාරීන් 40කට අධික පිරිසකට එක්සත් ජනපදය විසින් පුහුණුව ලබාදී තිබේ.

සැප්තැම්බර් 9 සිට 11 දක්වා කොළඹදී පැවති තෙදින පුහුණු වැඩසටහන, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහයෝගී තර්ජන අවම කිරීමේ කාර්යාලය හරහා ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ඇට්ලන්ටික් කවුන්සිලය සමඟ එක්ව සංවිධාන කර තිබේ.

එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කළේ, එක්සත් ජනපදයේ ආරක්ෂක අවශ්‍යතා සහ නීත්‍යානුකූල ගෝලීය වාණිජ කටයුතුවලට තර්ජනයක් විය හැකි සමුද්‍රීය සම්බාධක මඟහැරීමේ ක්‍රියාකාරකම් හඳුනාගෙන ඒවාට ප්‍රතිචාර දැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ හැකියාව ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ වූ බවයි.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව, ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, වෙළඳ නාවික ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු ආයතන කිහිපයක් නියෝජනය කරමින් නිලධාරීන් මෙම පුහුණුවට සහභාගී වී ඇත.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගයේ වෙනස්කම් - වාණිජ බැංකු නිකුත් කළ අලුත්ම විනිමය අනුපාතික මෙන්න

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගයේ වෙනස්කම් - වාණිජ බැංකු නිකුත් කළ අලුත්ම විනිමය අනුපාතික මෙන්න

පුහුණු වැඩසටහනේදී සැක කටයුතු යාත්‍රා සහ වංචනික සමුද්‍රීය ක්‍රියාකාරකම් හඳුනා ගැනීම සඳහා භාවිත කරන මෙවලම්, සම්බාධක සහ තහනම් ද්‍රව්‍ය ව්‍යාප්තියට අදාළ අවදානම් තක්සේරු කිරීම සහ නීතිවිරෝධී ක්‍රියාකාරකම් අනාවරණය වූ විට රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම පිළිබඳව අවධානය යොමු කර තිබේ.

යාත්‍රා හඳුනාගැනීමේ සහ ලුහුබැඳීමේ තොරතුරු වෙනස් කිරීම, අපැහැදිලි හිමිකාරිත්ව ව්‍යුහයන්, යාත්‍රා අතර භාණ්ඩ හුවමාරු කිරීම සහ ව්‍යාජ ලේඛන භාවිතය ඇතුළු නීතිවිරෝධී සමුද්‍රීය ක්‍රියාකාරකම් සැඟවීමට භාවිත කරන ක්‍රමවේද පිළිබඳවද සහභාගී වූ නිලධාරීන් දැනුවත් කර තිබේ.

ඇට්ලන්ටික් කවුන්සිලයේ සම්බාධක සහ සමුද්‍රීය ආරක්ෂක විශේෂඥයින් විසින් ඉදිරිපත් කිරීම් සහ ප්‍රායෝගික අභ්‍යාස පවත්වා ඇති අතර, එහිදී අනතුරු ඇඟවීමේ සංඥා හඳුනා ගැනීම සහ සම්බාධකවලට ලක් වූ යාත්‍රා හෝ ඊට සම්බන්ධ ආයතන සම්බන්ධයෙන් නිසි පරීක්ෂාවන් සිදු කිරීම පිළිබඳව පුහුණුව ලබාදී ඇත.

සම්බාධක පනවා ඇති නෞකාවකට ඉන්ධන, ආහාර හෝ වෙනත් සැපයුම් ලබාදීමෙන් සමාගම් සහ පුද්ගලයන්ට එක්සත් ජනපද සම්බාධක සම්බන්ධයෙන් සිවිල් හෝ අපරාධමය දඬුවම්වලට මුහුණදීමේ අවදානමක් ඇති විය හැකි බවටද පුහුණුවේදී අවධානය යොමු කර තිබේ.

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති එරික් මේයර් සඳහන් කළේ, ප්‍රධාන ගෝලීය වෙළඳ මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාව පිහිටා තිබීම සැලකිය යුතු ආර්ථික අවස්ථා නිර්මාණය කරන අතරම, වාණිජ නැව්ගත කිරීම් අනිසි ලෙස භාවිත කිරීම වැළැක්වීම සඳහා සුපරීක්ෂාකාරී වීමද අවශ්‍ය වන බවයි.

සම්බාධක මඟහැරීමේ ජාල නීතිවිරෝධී ක්‍රියාකාරකම් සැඟවීම සඳහා සංකීර්ණ ජාත්‍යන්තර නැව්ගත කිරීමේ සහ මූල්‍ය ව්‍යුහයන් මෙන්ම නීත්‍යානුකූල වාණිජ ජාලද භාවිත කරන බව එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි. ප්‍රධාන ඉන්දියානු සාගර ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ පිහිටීම හේතුවෙන්, නීතිවිරෝධී සමුද්‍රීය ක්‍රියාකාරකම්වලින් මෙරට වරායන් සහ අවට මුහුදු ප්‍රදේශ ආරක්ෂා කිරීම නීත්‍යානුකූල වෙළඳාම ආරක්ෂා කිරීම සඳහා වැදගත් බවද එම තානාපති කාර්යාලය සඳහන් කර තිබේ.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල - දිවයිනේ ප්‍රථම ස්ථානය මධ්‍යම පළාතට

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල - දිවයිනේ ප්‍රථම ස්ථානය මධ්‍යම පළාතට

මෙම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ මෙන්ම පුළුල් කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව වැඩිදියුණු කිරීම අරමුණු කර ඇති බව එක්සත් ජනපද තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.