ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගමේ හිටපු සභාපති අල්ලස් දැලේ
ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් සමාගමේ හිටපු සභාපති උදේනි ජයරත්න දසනායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (25) අත්අඩංගුවට ගෙන තිබේ.
2023 සහ 2024 වසරවලදී අදාළ සමාගමේ අනියම් කම්කරු තනතුරු සඳහා අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා, නියමිත බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටියෙන් බැහැරව සේවකයින් බඳවා ගැනීමට කටයුතු කළ බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.
එලෙස බඳවාගත් අනියම් කම්කරුවන් සඳහා මේ දක්වා රුපියල් 34,438,650.42ක මුදලක් වැටුප් ලෙස ගෙවීමට සැලැස්වීමෙන් ඔවුන්ට අයුතු වාසියක් ලබාදීම සම්බන්ධයෙන් දූෂණය නමැති වරද සිදුකර ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කරයි. සැකකරු අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.