හින්දු දේවස්ථානයක් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමේ ප්රහාරයක් - සියල්ල හෙළි වේ
අමෙරිකාවේ ඉලිනොයිස් ප්රාන්තයේ, චිකාගෝ නගරයේ ඕරෝරා ප්රදේශයේ පිහිටි හින්දු දේවස්ථානයක් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමේ ප්රහාරයක් සැලසුම් කළ 19 හැවිරිදි තරුණයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ පැලටීන් ප්රදේශයේ පදිංචි, ආපනශාලාවක සේවය කරන ඇලෙක්සැන්ඩ්රොස් පැපොරාකිස් නැමැති පුද්ගලයෙකි.
ඔක්තෝබර් 11 වන දින මෙම ප්රහාරය එල්ල කිරීමට ඔහු සැලසුම් කර තිබූ අතර, ප්රහාරය එල්ල කිරීමට ගිය අවස්ථාවේදී ඔහුගේ රයිෆල් තුවක්කුව ක්රියා විරහිත වීම හේතුවෙන් සිදුවීමට ගිය මහා පරිමාණ සංහාරය වැළකී ගොස් ඇති බව බලධාරීහු සඳහන් කරති.
සැකකරු සුදු ජාතිකවාදී අන්තවාදී අදහස් දරන්නෙකු බවත්, ඉන්දීය සම්භවයක් ඇති පුද්ගලයන්ට එරෙහිව හිංසා පීඩා කිරීමට අනුබල දෙන ප්රකාශන ඇතුළු ගිනි අවි සහ යුධෝපකරණ රැසක් සතුව තබාගෙන සිට ඇති බවත් අනාවරණය වී ඇත.
සිද්ධියෙන් පසු නිවසින් පිටව යමින් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවසේ තිබී රයිෆල් තුවක්කුවක්, පතොරම් පිරවූ මැගසින්, යුධමය ඇඳුම් සහ සන්නාහ කබායක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මක වේ.