ඉන්දියානු කලා ලෝකය ජාත්යන්තරයට ගෙන ගිය 'Nature Morte' හිමිකරු පීටර් නාගි අභාවප්රාප්ත වෙයි
ඉන්දියානු සමකාලීන කලා ක්ෂේත්රයේ වර්ධනයට සහ ජාත්යන්තර පිළිගැනීම ඉහළ නැංවීමට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් අමෙරිකාවේ උපත ලැබූ කලාකරුවෙකු සහ කලාගාර හිමිකරුවෙකු වූ පීටර් නාගි (Peter Nagy) වයස අවුරුදු 67දී අභාවප්රාප්ත වී තිබේ.
දිල්ලි සහ මුම්බායි නගර කේන්ද්ර කරගනිමින් ක්රියාත්මක වන ඔහු විසින් ආරම්භ කරන ලද ‘නේචර් මෝර්ට්’ (Nature Morte) කලාගාරය ඔක්තෝබර් 13 වැනිදා සමාජ මාධ්ය ඔස්සේ නිවේදනය කළේ, දිගුකාලීන රෝගාබාධයකින් පසු නාගි අභාවප්රාප්ත වූ බවයි.
1980 දශකයේ නිව්යෝර්ක් නුවර ඊස්ට් විලේජ් කලා ක්ෂේත්රය තුළින් සිය කලා දිවිය ඉදිරියට ගෙන ගිය නාගි, නව සංකල්පීය කලාව (Neo-conceptualism), පශ්චාත් අවමවාදය (Post-minimalism) සහ ආයතනික විවේචනය (Institutional Critique) වැනි කලා ප්රවණතා සමඟ සම්බන්ධ විය.
පොප් ආර්ට් ශෛලියේ දෘශ්ය භාෂාව උපහාසාත්මකව භාවිත කරමින් පාරිභෝගිකවාදය සහ වේගයෙන් ඩිජිටල්කරණය වන දෘශ්ය සංස්කෘතිය පිළිබඳ විවේචනාත්මක අදහස් සිය නිර්මාණ හරහා ඉදිරිපත් කිරීම ඔහුගේ කලා භාවිතයේ කැපී පෙනෙන ලක්ෂණයක් විය.
ඔහුගේ මුල්කාලීන කළු-සුදු කොලාජ් නිර්මාණ, සිතුවම් සහ වයිනයිල් මාධ්යයෙන් කළ කෘති 2020 වසරේදී නිව්යෝර්ක්හි ජෙෆ්රි ඩීච් (Jeffrey Deitch) කලාගාරයේදී මැජෙන්ටා ප්ලේන්ස් (Magenta Plains) ආයතනය සමඟ එක්ව ප්රදර්ශනය කෙරිණි.
එම ප්රදර්ශනයට ඔහුගේ ‘Xerox’ නිර්මාණ මාලාව ද ඇතුළත් විය. වෙළෙඳ සන්නාම, ලාංඡන සහ දැන්වීම් යොදාගෙන නිර්මාණය කළ විශාල කඩදාසි කොලාජ්වලින් සමන්විත මෙම මාලාව, කලාව වෙළෙඳ භාණ්ඩයක් බවට පත්වීම පිළිබඳ ඔහුගේ විවේචනාත්මක ආකල්පය පිළිබිඹු කළේය.
ඔහුගේ ‘Cancer’ සිතුවම් මාලාව ද විශේෂ අවධානයක් දිනාගත් නිර්මාණ එකතුවකි. ජෙෆ්රි ඩීච් කලාගාරයේ ප්රදර්ශන සටහන්වලට අනුව, එම නිර්මාණවලදී වෙළෙඳ සන්නාම සහ විවිධ ග්රැෆික් අංග එකිනෙක මත තබා, ඒවායේ මුල් අනන්යතාව හඳුනාගත නොහැකි වන පරිදි වියුක්ත කරමින් සෛලවලට සමාන රූප නිර්මාණය කර තිබේ.
‘Nature Morte’ කලාගාරය හරහා ඉන්දියානු කලාවට නව මාවතක් පීටර් නාගිගේ කලා දැක්ම සහ නව්ය නිර්මාණ කෙරෙහි පැවති උනන්දුව, ඔහු විසින් ආරම්භ කරන ලද ‘Nature Morte’ කලාගාරයේ අනන්යතාව තීරණය කිරීමට ප්රධාන වශයෙන් බලපෑවේය.
ඔහු 1982 වසරේදී කලාකරු ඇලන් බෙල්චර් (Alan Belcher) සමඟ එක්ව නිව්යෝර්ක්හිදී මෙම කලාගාරය ආරම්භ කළේය. එහි මුල්කාලීන ප්රදර්ශනවලදී ග්රෙචන් බෙන්ඩර් (Gretchen Bender), විටෝ අකොන්සි (Vito Acconci) සහ නොට් විටල් (Not Vital) වැනි කලාකරුවන්ගේ නිර්මාණ ප්රදර්ශනය කෙරිණි.
එමෙන්ම, ‘Pictures Generation’ කලා ප්රවණතාවට සම්බන්ධ සින්ඩි ෂර්මන් (Cindy Sherman) සහ ෂෙරී ලෙවින් (Sherrie Levine) වැනි කලාකරුවන්ගේ නිර්මාණ ද එහි ප්රදර්ශනය විය.
පසුව ඉන්දියාවට පැමිණි නාගි, එරට කලා ක්ෂේත්රය තුළ ජාත්යන්තර මට්ටමේ කලාගාර ආකෘතියක් ගොඩනැඟීමට දායක විය. ඉන්දියානු කලාකරුවන්ගේ නිර්මාණ ජාත්යන්තර ප්රේක්ෂකයන් වෙත රැගෙන යාමටත්, ගෝලීය කලා වෙළෙඳපොළ සමඟ ඔවුන් සම්බන්ධ කිරීමටත් ඔහු විශාල කාර්යභාරයක් ඉටු කළේය.
2022 වසරේදී ‘Artnet’ සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු සිය කාර්යභාරය පැහැදිලි කරමින්, පියරේ මැටිස් (Pierre Matisse), ඉලියානා සොනාබෙන්ඩ් (Ileana Sonnabend) සහ ලියෝ කැස්ටෙලි (Leo Castelli) වැනි කලා ක්ෂේත්රයේ ප්රමුඛයන් යුරෝපීය කලාගාර ආකෘතිය නිව්යෝර්ක් වෙත ගෙන ආ ආකාරයට සමාන කාර්යයක් ඉන්දියාව තුළ සිදු කිරීමට තමන් උත්සාහ කළ බව පෙන්වා දී තිබිණි.
දකුණු ආසියානු කලාකරුවන්ගේ ජාත්යන්තර ගමනට දායකත්වය නව සහස්රයේ ආරම්භයත් සමඟ දකුණු ආසියානු කලාකරුවන් නව මාධ්ය, සංකල්ප සහ නිර්මාණාත්මක ප්රවේශ අත්හදා බලමින් සිටි අවධියේදී, ඔවුන්ගේ වෘත්තීය ගමන්මඟ ශක්තිමත් කිරීමට නාගි දායක විය.
‘Nature Morte’ කලාගාරය සමඟ සම්බන්ධ වූ කලාකරුවන් අතර ජිතීෂ් කල්ලාට් (Jitish Kallat), Raqs Media Collective, රීනා සයිනි කල්ලාට් (Reena Saini Kallat), භාරතී ඛේර් (Bharti Kher) සහ ඉම්රාන් කුරේෂි (Imran Qureshi) වැනි ප්රමුඛ නම් රැසක් සිටිති. මෙම කලාගාරය ඉන්දියාවෙන් ඔබ්බට ද සිය ක්රියාකාරකම් ව්යාප්ත කළේය.
නිව්යෝර්ක්හි ‘Bose Pacia’ කලාගාරය සමඟ සහයෝගයෙන් කොල්කටා නුවර 2006 සිට 2009 දක්වාත්, බර්ලින් නුවර 2008 සිට 2013 දක්වාත් කලාගාර පවත්වාගෙන යාම ඒ සඳහා උදාහරණ වේ.
එමෙන්ම, ඇලිජා ක්වාඩේ (Alicja Kwade) සහ අයි වෙයිවෙයි (Ai Weiwei) වැනි ජාත්යන්තර කලාකරුවන්ගේ නිර්මාණ ඉන්දියානු කලා ප්රේක්ෂකයන් වෙත හඳුන්වා දීමට ද‘Nature Morte’ දායක වී තිබේ. වර්තමානයේදී මෙම කලාගාරය දිල්ලියේ ගුල්මොහාර් පාර්ක් ප්රදේශයේ සහ මුම්බායිහි කොලාබා ප්රදේශයේ ස්ථාන දෙකකින් ක්රියාත්මක වේ.
ජාත්යන්තර කලා ප්රදර්ශනවලට ද එය අඛණ්ඩව සහභාගී වන අතර, ලන්ඩනයේ පැවැත්වෙන ‘Frieze London’ කලා ප්රදර්ශනය ද ඒ අතර වේ. “ඔහු කිසිවෙකු සතුටු කිරීමට උත්සාහ කළේ නැහැ” ‘Nature Morte’ කලාගාරයේ සහකාරිය සහ විධායක අධ්යක්ෂිකා අපරාජිත ජේන්, පීටර් නාගිගේ කලා දැක්ම සහ පෞරුෂය සිහිපත් කරමින් කියා සිටියේ, ඔහු තම අදහස් ප්රකාශ කිරීමේදී කිසිවිටෙකත් සම්මුතිවාදී නොවූ බවයි.
“පීටර් ඉතා අව්යාජ පුද්ගලයෙක්. ඔහු කිසිවෙකු සතුටු කිරීමට උත්සාහ කළේ නැහැ. විවේචනයට හෝ අහිතකර ප්රතිචාරවලට ඔහු බිය වුණේ නැහැ. මිනිසුන් අද යම් දෙයක් ගැන උනන්දු නොවුණත්, වසර 15කින් ඔවුන් ඒ ගැන උනන්දු වනු ඇතැයි ඔහු මට කියා තිබෙනවා” යනුවෙන් ඇය සඳහන් කළාය.
නාගිගේ අභාවය නිවේදනය කරමින් ‘Nature Morte’ කලාගාරය සිය ඉන්ස්ටග්රෑම් ගිණුමේ සටහන් කර තිබුණේ, ඔහු නිර්භීතව, සම්මුතිවලට යටත් නොවී සහ නිදහස් චින්තනයෙන් යුතුව ජීවත් වූ පුද්ගලයකු බවයි. නාගිගේ කැමැත්තට අනුව කලාගාරයේ ප්රදර්ශන සහ අනෙකුත් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට ද තීරණය කර තිබේ.
කලාගාරය ශෝකය හේතුවෙන් වසා නොදැමිය යුතු බව ඔහු පැහැදිලිව ප්රකාශ කර තිබූ බව එහි කළමනාකාරීත්වය සඳහන් කළේය.
කලාගාරය වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ, ප්රදර්ශනයක් යනු කලාගාරයට පමණක් අයත් දෙයක් නොව, එය නිර්මාණය කළ කලාකරුවාට සහ එය නැරඹීමට පැමිණෙන සෑම පුද්ගලයකුටම අයත් අත්දැකීමක් බව නාගි විශ්වාස කළ බවයි.
පීටර් නාගිගේ අභාවය ඉන්දියානු සමකාලීන කලා ක්ෂේත්රයට සැලකිය යුතු පාඩුවක් වන අතර, කලාකරුවන්ට ජාත්යන්තර අවස්ථා විවෘත කිරීම, නව කලා ප්රවණතා හඳුන්වා දීම සහ සාම්ප්රදායික සීමාවන් අභියෝගයට ලක් කිරීම වෙනුවෙන් ඔහු කළ දායකත්වය දිගුකාලීනව සිහිපත් වනු ඇත.