2026 සිට අලුත් අධ්‍යාපන පරිවර්තනයක් - අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිල වෙබ් අඩවිය විවෘතයි

Report

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ නිවැරදි හා විශ්වාසදායක තොරතුරු මහජනතාව වෙත ලබාදීම සහ ඒ සම්බන්ධයෙන් ජනතාවට පවතින ගැටලු හා විමසීම් ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසීම අරමුණු කරගනිමින් රජය නව නිල වෙබ් අඩවියක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව, ‘ප්‍රතිසංස්කරණ තොරතුරු සහ විමසුම් සේවාව’ (Reform Information & Enquiry Service – RIES) නමින් හඳුන්වා දී ඇති මෙම වෙබ් අඩවිය අග්‍රාමාත්‍යවරිය මෙන්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ද වන ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ සහභාගීත්වයෙන් නිල වශයෙන් විවෘත කෙරිණි.

මෙම වෙබ් අඩවියට https://edureformfact.moe.gov.lk යන ලිපිනය ඔස්සේ පිවිසිය හැකිය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊයේ (14) කොළඹ ටෙම්පල් ට්‍රීස්හි පැවති විශේෂ වැඩසටහනකදී මෙම වෙබ් අඩවිය එළිදක්වන ලදී. ඒ සඳහා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව සමාජය තුළ පවතින විවිධ අදහස් සහ විමසීම්වලට පිළිතුරු සැපයීමත්, ප්‍රතිසංස්කරණවල අරමුණු හා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාදීමත් මෙම නව වෙබ් අඩවිය හරහා අපේක්ෂා කෙරේ.

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කළේ, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු පාසල් විෂය නිර්දේශය සංශෝධනය කිරීමකට පමණක් සීමා වූ වැඩපිළිවෙළක් නොවන බවයි.

එය රටේ සමස්ත අධ්‍යාපන පද්ධතියම නව මාවතකට යොමු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන පුළුල් පරිවර්තනයක් බව ඇය සඳහන් කළාය. “මෙය විෂය නිර්දේශයේ වෙනසකට එහා ගිය, සමස්ත අධ්‍යාපන පද්ධතියේම පරිවර්තනයකි.

අප රටේ අනාගතය ගොඩනැගෙන්නේ ගුණාත්මක අධ්‍යාපනය මතයි,” යනුවෙන් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය. සැලසුම් කර ඇති පරිදි, අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල පළමු අදියර 2026 වසරේදී පළමු ශ්‍රේණියෙන් ආරම්භ කිරීමට නියමිත අතර, 2027 වසරේදී හයවන ශ්‍රේණිය සඳහා ද එම ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට සැලසුම් කර තිබේ.

මෙම වෙනස්කම් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරමින් ගුරු පුහුණු වැඩසටහන්, පාසල් යටිතල පහසුකම් සංවර්ධනය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඩිජිටල්කරණ කටයුතු දැනටමත් ක්‍රියාත්මක වන බව ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

දරුවන්ගේ අධ්‍යාපනය දේශපාලන ගැටුම්වලට යටත් නොවිය යුතුයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේදී මාධ්‍යයට පැවරෙන වගකීම ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.

ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ජනතාව වෙත සන්නිවේදනය කිරීම සහ ඒ පිළිබඳ පුළුල් ජාතික සංවාදයක් ගොඩනැගීමේ වැදගත්කම ඇය පෙන්වා දුන්නාය. “අපට විවිධ දේශපාලන මතවාද තිබිය හැකිය.

නමුත් දරුවන්ගේ අධ්‍යාපනය දේශපාලන ගැටුම් ඇති කරගන්නා තැනක් බවට පත් නොකිරීම ඉතා වැදගත් වේ යනුවෙන් ඇය සඳහන් කළාය.

විභාග දෙපාර්තමේන්තුවෙන් සිසුන්ට නිවේදනයක් - මෙම පරීක්ෂණ 17 වැනිදා සිට ඇරඹෙයි

විභාග දෙපාර්තමේන්තුවෙන් සිසුන්ට නිවේදනයක් - මෙම පරීක්ෂණ 17 වැනිදා සිට ඇරඹෙයි

මේ අතර, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන දැනුවත් කිරීමේ අනුකමිටුවේ සම සභාපති මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ මහතා පැවසුවේ, යෝජිත වෙනස්කම් මගින් දැනට පවතින ගුරු කේන්ද්‍රීය සහ කටපාඩම් කිරීම මත පදනම් වූ ඉගෙනුම් ක්‍රමයෙන් බැහැරව ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් වෙත යොමුවීමට අපේක්ෂා කරන බවයි.

ඒ අනුව, සිසුන්ට පාඩම් මතක තබා ගැනීම පමණක් නොව, සැබෑ ජීවිතයේ අත්දැකීම් හා සම්බන්ධ කරගනිමින් දැනුම භාවිත කිරීමට හැකි වන පරිදි ඉගෙනුම් ක්‍රියාවලිය සකස් කිරීම මෙම ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණක් බව ඔහු පැහැදිලි කළේය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ කරුණු පිළිබඳව මාධ්‍ය නියෝජිතයන්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් සහ අධ්‍යාපන විශේෂඥයන් අතර පැවති සාකච්ඡාවකින් මෙම වැඩසටහන අවසන් විය.

නව වෙබ් අඩවිය හඳුන්වාදීමත් සමඟ, යෝජිත අධ්‍යාපන වෙනස්කම් පිළිබඳ නිවැරදි තොරතුරු ජනතාවට ලබාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් පවතින ගැටලු හා විමසීම් ඉදිරිපත් කිරීමටත් විධිමත් මාර්ගයක් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි -ප්‍රධාන බැංකුවල අලුත්ම විනිමය අනුපාත මෙන්න

රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි -ප්‍රධාන බැංකුවල අලුත්ම විනිමය අනුපාත මෙන්න