හමාස් සංවිධානයට අයත් භූගත කඳවුරු ගැන තොරතුරක්.
ඊශ්‍රායල - හමාස් ගැටුම් ආරම්භ වී මේ වන විට මාසයක් ගත වී තිබෙනවා.
ඊශ්‍රායල හමුදා නිවේදනය කර ඇත්තේ එම කාලය අතරතුර ගාසා හි උතුරු කලාපය හුදකලා කර වටකරගැනීමට තමන්ට හැකිවූ බවයි.
ඒ, ගාසා තීරයේ ගැටුම් සමනය කිරීමේ අරමුණින් අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කින් මැදපෙරදිග කලාපයේ සංචාරයක නිරතවන පසුබිමකය.
ඔක්තෝබර් 7 වනදා හමාස් සාමාජිකයින් ඊශ්‍රායල ගම්මානවලට ඇතුළු වී බරපතල ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.
එම ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය තවමත් ගාසා තීරය වෙත නොනැවතී ගුවනින් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.
එලෙස එල්ල කරනු ලබන ප්‍රහාර වලින් පලස්තීන දරුවන් ඇතුළු දස දහසකට පමණ මේ වන විට ජිවිත අහිමි වී තිබෙනවා.
මේ අතර අද (06) ගාසා තීරය කොටස් දෙකකට වෙන්කර උතුරු ගාසාව හුදකලා කිරීමට තමන්ට හැකිවූ බව ගොඩබිමින් ද ප්‍රහාර එල්ල කරන ඊශ්‍රායල හමුදා පවසනවා.
ඊශ්‍රායලය පවසන්නේ එල්ල කරන ලද ප්‍රහාරයන් අතරතුර හමාස් සංවිධානයට අයත් භූගත කඳවුරු සංකීර්ණයක් සොයාගත් බවයි.
එම භූගත කඳවුරු පිහිටා ඇත්තේ ගාසා හි රෝහල්වලට පහළින් බව වාර්තා වනවා.
ප්‍රහාරයන් හේතුවෙන් ගාසා හි සන්නිවේදන පහසුකම් මුළුමනින්ම අවහිර වීම හේතුවෙන් දුරකථන සහ අන්තර්ජාල සේවා ක්‍රියාත්මක නොවන බවද සඳහන්.
ඊශ්‍රායලයේ මෙම ප්‍රහාර ලෝක ප්‍රජාවගේ දැඩි විරෝධයට ලක්ව ඇත්තේ දැනටත් උතුරු ගාසාහි ලක්ෂ 4ක පමණ සිවිල් වැසියන් පිරිසක් රැඳීම හේතුවෙනි.
සිවිල් වැසියන්ට දකුණු කලාපය වෙත ඉවත්ව යාමට අවශ්‍ය මානුෂීය කොරිඩෝව විවෘත කර ඇති බව ඊශ්‍රායලය පවසනවා.
මේ අතර ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කින් මේ දිනවල මැදපෙරදිග සංචාරයක නිරත වනවා.
රාජ්‍ය ලේකම්වරයා ඊයේ (05) පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් හමු වී සාකච්ඡා කර තිබෙනවා.
ගාසා හි සිදුවන වාර්ගික සමූල ඝාතනයක් මේ වන විට සිදු වන බව පලස්තීන ජනාධිපති පවසන අතර,රාජ්‍ය ලේකම්වරයාගේ එම සංචාරයට විරෝධතාවක් ද පැවැත්වුණා.
