අම්මා මරණවා කියලා දස හැවිරිදි ඥාති දියණියට අතවර කළ මාමා
ළමා අතවර සිදුවීම් පිළිබඳව සමාජය තුළ නොයෙකුත් ආකාරයේ සිදුවීම් පිළිබඳ වාර්තා වීම වෙනදාටත් වඩා වැඩි අගයක් ගෙන තිබේ.එවන් කාලසීමාවක් තුළ තවත් දියණියකට අත්වූ අවාසනාවන්ත ඉරණමක් ගැන කියන්නයි මේ සූදානම.
පාසලක 05 වසරේ අධ්‍යාපනය ලබන දස හැවිරිදි දැරියක රවටා අපයෝජනයට ලක්කළ පුද්ගලයකු තණමල්විල මූලස්ථාන පොලිසිය විසින් පෙරේදා (07 දා) සවස අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අපයෝජනයට පත් දැරියගේ පියාගේ සහෝදරියගේ ස්වාමිපුරුෂයා වන 24 හැවිරිදි පුද්ගලයෙකි. තණමල්විල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් පසුගිය දින අදාළ විද්‍යාලයේදී දරු දැරියන් දැනුවත් කිරීමේ විශේෂ දේශනයක් පවත්වා තිබේ.
එහිදී දරු දැරියන්ට සිදුවන ලිංගික අඬන්තේට්ටම් පිළිබඳව දරුවන් දැනුවත් කර තිබේ. සැකකරු විසින් අවස්ථා කිහිපයකදීම දැරියට අතවර කර ඇති අතර මෙම සිදුවීම කාට හෝ කීවොත් දැරියගේ මව මරා දමන බවටද සැකකරු දැරියට තර්ජනය කර තිබේ. කෙසේ නමුත් පොලිස් ස්ථානාධිපතිවරයා පාසලට පැමිණ සිදුකළ දේශනයෙන් පසු නීතිය පිළිබඳව දැරියට ඇති විශ්වාසය මත දැරිය මේ පිළිබඳව පාසලේ විනය භාර ගුරුවරයාට පවසා තිබේ. ඒ අනුව විදුහල්පතිවරයා විසින් තණමල්විල පොලිසියට මේ පිළිබඳව සිදුකළ දැනුම් දීමෙන් පොලිසිය සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබේ.
