සමාගම් පණත යටතේ අවසන් ප්‍රතිලාභීන් හෙළි කිරීම අනිවාර්යයි
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, සමාගම් පණත යටතේ ලියාපදිංචි වී ඇති සියලුම සමාගම් මාස හයක් ඇතුළත ඔවුන්ගේ අවසන් ප්‍රතිලාභීන් (Ultimate Beneficial Owners) රජයට දැනුම් දිය යුතු බවයි.
"අපේ රටේ සමාගම් හරහා සිදුවන වංචා සහ දූෂණ ගැන විවිධ කතා අසන්නට ලැබෙනවා. ඒ නිසා අපි මෙම සංශෝධන හඳුන්වා දෙනවා. ගෙවල්වල ඉන්න රියදුරන්ගේ නමින් පවා සමාගම් ලියාපදිංචි කළ ඉතිහාසයක් තිබෙනවා. එසේම, මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම පිළිබඳවත් අපි අසා තිබෙනවා. ඩේසි ආච්චිගේ කතාවත් එවැනි එකක්. මුදල් රැස් කරන මාර්ග හෙළි කිරීමට නොහැකි වූ විට, අහක ඉන්න කෙනෙකුගේ නම යොදා ගන්නවා," යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.
"ලෝකයේ මූල්‍ය ආයතන සමඟ ගනුදෙනු කිරීමේදී ඇතිවන බාධා වැළැක්වීම මෙම සංශෝධනයේ එක් අරමුණක්. සමාගම් පණත යටතේ ලියාපදිංචි වී ඇති සියලුම සමාගම්, ඔවුන්ගේ මෙහෙයවන්නන්, හසුරවන්නන්, සහ අවසන් ප්‍රතිලාභීන් කවුරුන්ද යන්න මාස හයක් ඇතුළත රජයට දැනුම් දිය යුතුයි. මෙම පනත හරහා වත්කම් සඟවන තැනැත්තන්ගේ වත්කම් හෙළි කිරීමට නීතිමය පසුබිමක් සැකසෙනවා," යනුවෙන්ද අමාත්‍ය සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
