ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කළ බහුවිධ වෛද්‍ය සායනය මෙන්න [PHOTOS]

Report

යුද්ධ හමුදා සාමාජිකයන්ගේ යහපැවැත්ම සහතික කරමින් පවත්වනු ලබන බහුවිධ වෛද්‍ය සායනයන්හි 8වන අදියර පුත්තලම දිස්ත්‍රික්කයහි පදිංචි විවිධ හේතුන්  මත රණක්‍ෂිතයට පත් රණවිරුවන් හා විශ්‍රාමික මෙන්ම ක්‍රියාන්විත හේතූන් මත මියගිය රණවිරුවන්ගේ ළගම ඥාතීන් ඇතුලුව දහසකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පුත්තලම, සින්නවිල්ලුවත්ත යුද්ධ හමුදා කඳවුරේදී 2025.10.21 දින පවත්වන ලදි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධික්‍ෂණය යටතේ සංවිධානය කළ මෙම වෛද්‍ය කඳවුර හරහා වෛද්‍ය ගැටළු හදුනාගනිමින් හා ඒ සඳහා විසඳුම් ලබාදීම, වෘත්තීය සෞඛ්‍ය උපදේශනය, මානසික සෞඛ්‍ය උපදේශන සේවාව, දන්ත වෛද්‍ය සේවාව, ජංගම වෛද්‍ය රසායානාගාර සේවය, කෘතිම අත් පා සහ ශල්‍ය උපකරණ ලබාදීම සඳහා පරීක්‍ෂණ මෙන්ම ජංගම අක්ෂි සායන, භෞත චිකිත්සක සායන, ඇතුලු තවත් සේවා ලබාදීමට කටයුතු සිදුකර ඇත.

මෙහිදී රණක්ෂිතයට පත් රණවිරුවන්, විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ ළගම ඥාතීන්, යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා පමණක් නොව දැනට සේවයේ නියුතු රණවිරු පවුල්වල සාමාජිකයින්ගේ පවතින ගැටලු පිළිබඳ සොයා බැලීමට කටයුතු සංවිධානය කර තිබූ අතර යුද්ධ හමුදා සේවාවනිතා ඒකකය මගින් රණක්ෂිත රණවිරුවන්හට රෝද පුටු, අත්වාරු , ඇස් කණ්නාඩි හා අවශ්‍ය ශල්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමක්ද මෙහිදී සිදු කරන ලදි.

තවද මීට සමගාමීව ආරක්ෂක අමාත්‍යාංශය, රණවිරු සේවා අධිකාරිය හා යුද්ධ හමුදා අධ්‍යක්ෂ මණ්ඩල නියෝජනය කරමින් පැමිණි නියෝජිතයින් රණවිරුවන් හා ළඟම ඥාතීන් මුහුණපා ඇති ඉඩම්, නිවාස, වැටුප් හා අනෙකුත් පරිපාලන ගැටලු සඳහා අවැසි උපදෙස් හා මගපෙන්වීම් ලබාදීමට ද කටයුතු සංවිධානය කරන ලදි.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery