ඉතාලියෙන් ලංකාවට ගෙනා රට පරවියෝ ගුවන්තොටේදී මාට්ටු
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් 3,431,400ක් වටිනා විදේශීය පරවියන් 64දෙනෙකු සමඟ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.
කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති 'හරිත මාවත' (Green Channel) ඔස්සේ මෙම සතුන් පිටකර ගෙන යාමට තැත්කිරීමේදී ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් මොවුන්ව අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි, සුරතල් සතුන් අලෙවි කිරීමේ වෙළඳසැල් පවත්වාගෙන යන 30 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරිකයන් දෙදෙනෙකි.
මොවුන් මෙම පරවියන් ඉතාලියෙන් මිළදී ගෙන, ඩුබායි හරහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති අතර, කුඩා යකඩ කූඩු තුළ බහාලු මෙම පරවියන් ඔවුන් රැගෙන ආ ගමන් මලු 06ක් තුළ සඟවා තිබී ඇත.
ශ්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනතේ විධිවිධාන මෙන්ම සත්ත්ව නීරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් මෙලෙස මෙරටට රැගෙන ආ පරවියන් සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් වැඩිදුර විමර්ශන පවත්වයි. විමර්ශන කටයුතු අවසානයේ මෙම පරවියන් නැවත ඉතාලිය වෙත යැවීමට කටයුතු කිරීමට නියමිතය.