දේශපාලන කටයුතු පිළිබඳ එක්සත් ජනපද උප රාජ්‍ය ලේකම් ශ්‍රී ලංකාවට පැමිණේ
දේශපාලන කටයුතු පිළිබඳ එක්සත් ජනපද උප රාජ්‍ය ලේකම් ඇලිසන් හූකර් මහත්මිය අද (11) පෙරවරුවේ මෙරටට පැමිණ ඇත.
උප රාජ්‍ය ලේකම් හූකර් මහත්මිය ආර්ථික හා වාණිජ සබඳතා පුළුල් කිරීම, ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම ආදිය පිළිබද සාකච්ජා කිරීමටත් තවද ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමුද්‍රීය ස්වෛරීභාවයට සහාය වීම කෙරෙහි අවධානය යොමු කරන ද්විපාර්ශ්වික කරුණු රාශියක් පිළිබද අවධානය යොමු කිරීමටත් බලාපොරොත්තු වන බව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.
ඒ වගේම ශ්‍රී ලංකාවේ අමෙරිකානු තනාපති කාර්යාලය සදහන් කරන්නේ කලාපීය ආරක්ෂාව, ආර්ථික වර්ධනය සහ සමෘද්ධිය උදෙසා ඇති අන්‍යෝන්‍ය කැපවීම තුළ මුල් බැසගත් ශක්තිමත් සහ කල් පවතින හවුල්කාරීත්වයක් එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර ඇති බවයි.
ආරක්ෂක, වෙළෙඳ සහ සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ සමීප සහයෝගිතාව තුළින්, නිදහස්, විවෘත සහ අභියෝගයන්ට ඔරොත්තු දෙන ඉන්දු - පැසිෆික් කලාපයක් ඉදිරියට ගෙන යාමට එක්ව කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තනාපති කාර්යාලය දැනුම් දී ඇත.
ඒ වගේම නිවේදනයේ සඳහන් වෙන්නේ උපායමාර්ගික හවුල්කාරිත්වය අඛණ්ඩව ගොඩනඟා ගන්නා අතරතුර, දිට්වා සුළි කුණාටුවේ විනාශකාරී බලපෑම්වලට ප්‍රතිචාර දැක්වීමේ දී ද එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ එක්ව සිටින බවයි.
එක්සත් ජනපද - ශ්‍රී ලංකා හවුල්කාරිත්වයට ඇති අමෙරිකානු අඛණ්ඩ කැපවීම පිළිබිඹු කරමින්, දෙරටටම වැදගත් වන ක්ෂණික අභියෝග සහ දිගු කාලීන අවස්ථා යන දෙකම ආමන්ත්‍රණය කරමින් එක්ව කටයුතු කිරීමට කැපවෙන බවත් තවදුරටත් එම නිවේදනයේ සදහන් වේ.