ඔබේ දරුවාත් ජංගම දුරකතනයක් භාවිත කරනවා ද ? අනිවාර්යයෙන්ම මේක බලන්න

students tiktok tiktoks tiktok compilation tiktok for college students tiktok memes using tiktok for education tiktok challenge tiktok trends tiktok hacks
By Gagana Jan 04, 2022 11:38 PM GMT
Gagana

Gagana

Report
Courtesy: adaderana

මානව සම්බන්ධතා වර්ධනය කිරීම හා දැනුම සොයායෑමේ මාධ්‍යයක් ලෙස මිනිස් අතට පැමිණි ජංගම දුරකතනය වර්තමානය වන විට දැඩි සමාජයීය ගැටලු මතුකර තිබේ. ළමා සහ තරුණ මනස් තුළ සිතුවිලි හා ආකල්ප වර්ධනයකින් තොරව හුදු වින්දනය පමණක් පෙරදැරිකර ගත් TIK TOK මේ වන විට ශ්‍රී ලාංකා සමාජය වෙළාගෙන අවසන් වී ඇත.

වැඩිහිටියන්ගේ අධීක්ෂණයක් නොමැති වූ විට විවිධ ඇප් භාවිත කරන යෞවනයන් ආවේගශීලී විය හැකි බව විශේෂඥ මනෝ වෛද්‍ය රූම් රූබන් මහතා පවසයි. විශේෂඥ මනෝ වෛද්‍ය රූම් රූබන් මහතා "වැඩිහිටියන්ගේ අධීක්ෂණයක් නොමැතිව වුණාම නව යෞවනයන්ට මෙවැනි ආකර්ශනිය ඇප් එකක් පාවිච්චි කරන්නේ කොහොමද කියලා හොඳ අවබෝධයක් නැතිවෙන්නට පුළුවන්. යහළු යෙහෙළියන් සමග තිබෙන ගැටුම් නිසා එසේ නොමැතිනම් ආදර සම්බන්ධතාවල ඇති ප්‍රශ්න නිසා, මේ අය ආවේගශීලී වෙන්නට පුළුවන්.

ජීවිත නැතිකරන්න පවා, එසේත් නැතිනම් තමන්ට හිංසා කර ගැනීමට පවා උත්සහකරන අවස්ථා ඇති වෙන එක ස්වාභාවික දෙයක්." මේ අතර ළමා හා තරුණ පරපුර මානසික වියවුල් කරා ද, එතැන් සිට මරණය දක්වා ද ගෙන යන්නා වු ප්‍රමුඛයෙකු බවට වර්තමානයේ TIK TOK පත්ව තිබේ. එවැනි වටපිටාවක් තුළ එහි තවත් එක් ශෝකාන්තයක් ඊයේ දහවල් මාදම්පිටියේදී දිගහැරෙන්නේ නව යොවුන් වියේ පසුවන ළමයෙකුට දිවි අහිමිකරමිනි.

මෙම ටික් ටොක් වීඩියෝවේ හිමිකරුවා වූ 17 හැවිරිදි මොහොමඩ් අබ්දුල් ලතිෆ් තමා පදිංචි සේදවත්තේ සිට ඊයේ දහවල් සිය සොහොයුරා සේවය කරන ස්ථානයට යන්නේ, ඔහුට දිවා ආහාරය ලබාදීම සඳහායි. ඔහුගේ මිතුරන් කිහිපදෙනකු ද එම ගමනට එක්වෙයි.

සහෝදරයාට දහවල් ආහාර දී යළි නිවසට එන අතරේදී අබ්දූල් ටික් ටොක් වීඩියෝවක නිරතවී ඇත. එහිදී එම ස්ථානයට පැමිණි තවත් පිරිසක් අබ්දූල්ට පිහි ප්‍රහාරයක් එල්ල කර තිබේ. පොලිසිය පැවසුවේ එම පිහි ඇනුමටද හේතුවී ඇත්තේ ටික් ටොක් වීඩියෝවක් සම්බන්ධයෙන් ඇතිකර ගත් ආරවුලක් බවය.

පොලිසිය පවසන්නේ, සැකකරු මේ වන විටත් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවය. දරුවන්ගේ ජංගම දුරකතන භාවිතය වැඩිවන්නේ, කොවිඩ් වසංගතයත් සමග ඔවුන් ඔන්ලයින් අධ්‍යාපනය සඳහා යොමුවීම හේතුවෙනි. ජංගම දුරකතන දරුවන් අතට පත්වීමත් සමග ඇති වූ ඇතැම් සිද්ධීන් මරණයෙන් කෙළවර වුණි.

එහි ආසන්නතම සිද්ධිය පසුගිය මස 30 වනදා කරුවලගස්වැව සියඹලෑව ගම්මානයෙන් වාර්තා වූ අතර 15 හැවිරිදි පාසල් සිසුවියක් ළිඳට පැන සිය දිවි නසාගැනීමය. ඒ, ජංගම දුරකථනය හරහා ඇති වූ ප්‍රේම සම්බන්ධතාවයක් මුල් කරගනිමිනි.

එමෙන්ම පසුගිය වසරේ අගෝස්තු මස මාතර පදංචි ළමයෙකු සියදිවි හානි කරගන්නේ, ක්‍රීඩාවේ යෙදීම සඳහා මව ජංගම දුරකතනය ලබානොදීම හේතුවෙනි. මේ හරහා සිදුවන සමාජ බලපෑම වැලැක්වීම සඳහා අමෙරිකාව, ඉන්දියාව, බංගලාදේශය වැනි රටවල් දැනටමත් ඇතැම් ජංගම දුරකතන ක්‍රීඩා මෙන්ම TIK TOK වැනි මෘදුකාංග භාවිතය තහනම් කර තිබේ.

නමුත්, මේ දක්වා ශ්‍රී ලංකාව තුළ විධිමත් සමාජ මාධ්‍ය නියාමනයක් සිදුව නොමැත.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....
Join Now