දුවගෙන් පළිගන්න පියාට උදව් කළ ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන්ට වැඩ වැරදුනු හැටි.

CID - Sri Lanka Police Sri Lanka Police
By Wayomi May 08, 2024 04:55 AM GMT
Wayomi

Wayomi

Report

මව්පියන්ගේ විරෝධය මැද විවාහයක් කරගත් දියණියගේ පවුලට ඇයගේ පියා විසින් දැඩිව බලපෑම් කිරීමේ සිද්ධියක් පන්නිපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

විවාහයෙන් පසුව ඔවුන් දෙදෙනා ජීවත්ව සිට තිබුණේ, පන්නිපිටිය වීරමාවතේ පිහිටි තරුණයාගේ නිවසේ වන අතර දිගින් දිගටම එල්ල වූ මේ බලපෑම් දරාගත නොහැකිව ඔවුන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබුනා.

කෙසේ වෙතත් ඔවුන් පවසන්නේ, එම රටටද පැමිණි තරුණියගේ පියා තමන්ට බලපෑම් කළ බවයි.

පසුව මෙම තරුණ යුවල යළි දිවයිනට පැමිණ වීරමාවතේ නිවසේ ජීවත්ව සිට ඇති අතර මෙවන් පසුබිමක පසුගිය 29 වැනිදා දහවල් පන්නිපිටියේ පිහිටි තරුණයාගේ නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බවට පවසමින් පුද්ගලයින් තිදෙනකු පැමිණ තිබෙනවා.

එහිදී නිවසේ සිටි මවගේ, ජංගම දුරකථනය පරීක්ෂා කර ඇති ඔවුන් මවට තර්ජනය කරමින් තරුණයාගේ ඡායාරූප කිහිපයක් ඔවුන්ගේ දුරකථන වලට යොමුකර ගෙන ඇති අතර එම නිලධාරී යැයි කියූ පිරිසගේ දුරකථන අංකයකට එදින පස්වරුවේ තරුණයාගේ පියා ඇමතුමක් ලබාදී ඇත.

පසුව අදාළ දියණියගේ පියාට අයත් බවට පැවසෙන තලවතුගොඩ පිහිටි හෝටලයක ඔවුන් තිදෙනා මත්පැන් පානය කරමින් සිටියදී සොයාගෙන ඇති අතර අනතුරුව එම නිලධාරීන් තිදෙනාගෙන් දෙදෙනෙකු හෝටල් පරිශ්‍රයේ සැඟව තිබෙනවා.

අනෙක් පුද්ගලයා සිය මෝටර් රථයකින් පළායමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගෙන මහරගම පොලිසියට භාර දී තිබුනා.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර ඇති අතර ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි පෙනීසිටි වරායේ සේවකයෙක්.

එමෙන්ම අනෙක් දෙදෙනා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනෙක් වන අතර මේ වන විට ඔවුන්ගේ වැඩ තහනම් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.