නව කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුලු වෙයි..යළි මුහුණු ආවරණ පළදින්න වෙයි..
ජේ එන් 1 ඔමික්‍රෝන් උප ප්‍රභේදයට අයත් නව කොරෝනා වෛරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුලු වී ඇති බව ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා අවධාරණය කර සිටිනවා.
කොවිඩ් පරීක්ෂණ සිදු කිරීම මේ වනවිට ඉතා අවම මට්ටමක පැවතීම හේතුවෙන් මේ මොහොතේ එහි ව්‍යාප්තිය පිළිබඳ තත්ත්වය සම්බන්ධයෙන් විද්‍යාත්මකව ප්‍රකාශ කළ නොහැකි බවයි, සිය නිල එක්ස් ගිණුමට සටහනක් එක් කරමින් ඔහු පවසා සිටියේ.
කෙසේ වෙතත් යළි මුහුණු ආවරණ පැළඳීමට යොමුවීම වඩාත් උචිත බවයි ඔහු කියා සිටියේ.
කෙසේ වෙතත්, මහාචාර්ය චන්දිම ජීවන්දර මහතාගේ මතය වී තිබෙන්නේ, කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් තවමත් සක්‍රීය තත්ත්වයේ පවතින අතර අවදානම් සහිත කණ්ඩායම් බූස්ටර් එන්නත් ලබාගැනීම වැදගත් බවයි.
උණ රෝගය වැළදෙන අවස්ථාවේදීම එය ඩෙංගු රෝගය යැයි සැක කර සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනු ලබයි.
අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 65ක් ද මේ වන විටත් නම් කර තිබෙන අතර, පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ඩෙංගු රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් ද පෙන්නුම් කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, නිවාස, වැඩබිම්, ආගමික ස්ථාන, රාජ්‍ය ආයතන හා ඉඩම් ක්‍ෂේත්‍ර පරීක්ෂාවට ලක් කරමින් ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන විනාශ කිරීම හා ජනතාව දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය අංශ දැනටමත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක බවයි.
