සිරකරුවන් නිදහස් කරනකල් බලන් හිටපු පලස්තීනුවන්ට ඊශ්‍රායලයෙන් කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර
ඊශ්‍රායලයේ බටහිර ඉවුරේ ඔෆර් බන්ධනාගාරය අසල සිරකරුවන් මුදාහරින තෙක් බලා සිටි පලස්තීනුවන් සිය ගණනක පිරිසක් වෙත එරට හමුදාව කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඊශ්‍රායල ධජයක් ලෙළදෙන සන්නද්ධ රථයක් බන්ධනාගාරය දෙසට පැමිණ ඇති අතර, ඩ්‍රෝන යානා ද ඉහළින් පියාසර කර ඇත.
එම ස්ථානයට රැස්ව සිටි පිරිස ඊශ්‍රායල හමුදාව කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ මගින් විසුරුවා හැර තිබෙනවා.
එසේම මෙම සිද්ධියට පෙර, සිරකරුවන්ට සහය දක්වන ඕනෑම අයෙකු අත්අඩංගුවට ගත හැකි බවට අනතුරු අඟවමින් පත්‍රිකාවක් සංසරණය වී තිබූ බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළ බව සඳහන්.
මේ අතර පලස්තීන රැඳවියන්ගේ පවුල්, සිය සමීපතමයන් නිදහස් කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් ඔෆර් බන්ධනාගාරය අසල ස්ථානයේ රැස්ව සිටියි. එසේම ඊශ්‍රායලය විසින් නිදහස් කරන ලද පලස්තීන රැඳවූවන් රැගත් බස් රථ 38 න් පළමුවැන්න ගාසා තීරයට ඇතුළු වී ඇත.
එමෙන්ම මෙම මෙහෙයුමට සම්බන්ධ නිලධාරියෙක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ පලස්තීනුවන් බලාපොරොත්තු වන්නේ මෙම ගිවිසුම යටතේ ඊශ්‍රායල සිරගෙවල්වලින් පුද්ගලයන් 2,000 කට ආසන්න සංඛ්‍යාවක් නිදහස් වනු ඇති බවයි.
කෙසේ වෙතත් ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමේ කොටසක් වශයෙන් හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ප්‍රාණ ඇපකරුවන් සහ සිරකරුවන් හුවමාරු කිරීමේ ක්‍රියාවලිය සිදුවෙයි. ඒ අනුව හමාස් සංවිධානය මඟින් ගාසා තීරයේ රඳවා සිටි ජීවත්ව සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 දෙනාම මුදා හැරීමට පියවර ගෙන තිබුණා.
ගාසා තීරයේ රඳවා සිට පවුල් සමඟ යළි එක්වීමට මුදා හරින ලද ඊටන් මෝර්, ඇලෝන් අහාල්, සිව් බර්මන්, ගාලි බර්මන්, ගයි ගිල්බෝවා-ඩලාල්, ඕම්රි මිරාන්, සහ මතන් යන ප්‍රාණ ඇපකරුවන් 07 දෙනා ඇන්ග්‍රස්ට් ඊශ්‍රායලයේ මූලික පිළිගැනීමේ ස්ථානයකට යවා තිබෙනවා.
එසේම ‘මුහුදු අශ්වයා’ ‘බකමූණා’ යන නම්වලින් හැඳින්වෙන ඊශ්‍රායල ගුවන් හමුදාවේ විශේෂ හෙලිකොප්ටර් බලඇණියක් මගින් ප්‍රාණ ඇපකරුවන් නැවත ගෙනවිත් ඇත. ඔවුන්ට ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) මානව සම්පත් අධ්‍යක්ෂ මණ්ඩලය සහ වෛද්‍ය නිලධාරීන් විසින් මූලික වෛද්‍ය තක්සේරු කිරීම්වලට සහය දක්වමින් සිටියි.
එමෙන්ම මෙම සටන් විරාමය සිරකරුවන්- ප්‍රාණ ඇපකරුවන් හුවමාරු ගනුදෙනුව අමෙරිකාව මඟින් මැදිහත් වූ ගිවිසුමක කොටසක් බව වාර්තා වේ.
තවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයට පැමිණ තිබෙන අතර, ඔහු මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර සමුළුවකට සම-සභාපතිත්වය දැරීම සඳහා ඊජිප්තුව බලා යාමට පෙර ඊශ්‍රායල නෙසෙට් ආමන්ත්‍රණය කිරීමට නියමිතව ඇත.
මේ අතර ඊජිප්තු ජනාධිපති කාර්යාලයට අනුව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ෂාම් එල්-ෂෙයික් සමුළුවට සහභාගී වන බව සඳහන්.
යුරෝපා සංගමයේ කොමිසමේ ප්‍රධානියා ඊට අමතරව සඳහන් කර ඇත්තේ අමෙරිකාව, කටාර්, ඊජිප්තුව සහ තුර්කිය විසින් මැදිහත් වූ ගාසා සාම සැලැස්මට යුරෝපය සම්පූර්ණයෙන්ම සහය දක්වන බවයි.
මේ අතරතුර ටෙල් අවිව් හි අමෙරිකානු කොන්සල් කාර්යාලය අසල ඩ්‍රෝන දර්ශනයකින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රූපයක් දැක් වේ.
එය හමාස් විසින් වසර දෙකක් රඳවාගෙන සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට අපේක්ෂා කරන දිනයේ නිරූපණයක් බව සඳහන්.