මූණ දිහා බැලුවැ කියලා ගුරුවරයා සිසුවාට පහර දෙයි. සිසුවා රෝහලට..

By Sithumi Nov 10, 2022 05:57 PM GMT
Sithumi

Sithumi

Report

  "මුහුණ දිහා  බැලුවේ ඇයිදැයි " පවසමින් ගුරුවරයෙකු පහර දුන්නැයි පවසමින් 15 හැවිරිදි සිසුවෙක් හොරණ මූලික රෝහල වෙත අද දින සවස ඇතුළත්ව ඇතැයි බුලත්සිංහල පොලිසිය සඳහන් කරනවා.

පොලිසිය සඳහන් කළේ රෝහල් ගතව ඇත්තේ ගෝවින්න මහා විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු බවයි. පසුගිය 08 වෙනිදා තවත් සිසුන් පිරිසක් සමඟ පුස්තකාලයට ගිය අවස්ථාවේදී පොත් ලබාගත් අය කාඩ් රැගෙන පැමිණෙන ලෙස පවසා පුස්තකාලයේ යාබද කොටසට කැඳවූ බවත් එහිදී පොත් රැගෙන නොආ කීප දෙනෙකුට අතින් පහර දුන් බවත් තමන් කාඩ් පත ගුරුතුමා වෙත දී පොත පසුදින රැගෙන එන බව පැවසූ බවත් තමන්ට එම අවස්ථාවේ පහර නොදුන් බවත් සිසුවා කළ ප්‍රකාශ කර තිබේ.

අනතුරුව කාලච්ඡේද දෙකකට පමණ පසුව ගුරුතුමා තමා සිටින පන්තිය අසලින් ගමන් කළ බවත් එහිදී ඔහුගේ මුහුණ දිහා බැලීම හේතුවෙන් එම අවස්ථාවේ පන්තියේ උගන්වමින් සිටි විද්‍යාව ගුරුවරියට පවසා තමන්ව පුස්තකාලෙට කැඳවා ගෙන ගිය බවත්, පුස්තකාලයට ඇතුළු වෙන විට සපත්තු ගැලවීමට අවශ්‍ය බැවින් සපත්තු ගැලවීමටත් ගුරුතුමා ඉඩ නොදුන් බවත් තමන් ඇඳ සිටි කමිසයෙන් අල්ලා ඇද  පුස්තකාලයේ තුළට රැගෙන " මොකද මූණ දිහා බැලුවේ" යැයි පවසමින් දකුණු කම්මුල දෙසට සහ හිසට පහර කීපයක් ගැසූ බවත් ඔහු කරන ලද පැමිණිල්ලේ තවදුරටත් සඳහන් වේ.
             
මේ බව තම පියාට දැන ගැනීමට ලැබීමෙන් අනතුරුව තමන් සමග විදුහල්පති හමුවට ගිය අවස්ථාවේදී මේ පිළිබඳව සොයා දැනුම් දෙන්නම් පියාට පවසා තිබූ බවත් සිසුවා කළ ප්‍රකාශයක සඳහන් වනවා එමෙන්ම එදින සිට තමන්ට හිසේ කැක්කුමක් හට ගැනීම හේතුවෙන් රෝහල්ගත වූ බව එම සිසුවා වැඩිදුරටත් පවසයි.

බුලත්සිංහල පොලිසියේ ළමා හා කාන්තා කාර්ය්‍යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර පහරකෑමට ලක්වූ බව කියන සිසුවා හොරණ මූලික රෝහලේ මූලික ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර අද  දින අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.