ශ්‍රී ලංකා එංගලන්ත පළමු 20-20 තරඟය අද

Sri Lanka England tournament t20 Kardeef
By Sewvandhi Jun 23, 2021 04:03 AM GMT
Sewvandhi

Sewvandhi

Report

 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 03 කින් සමන්විත පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය කාර්ඩිෆ් හිදි අද පැවැත්වෙනවා. රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 11 ට ආරම්භ වීමට නියමිතයි.

පිතිකරුවන් හයදෙනෙකු, තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙකු සහ පන්දු යවන්නන් දෙදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අද තරගය ක්‍රීඩා කරන බවයි නායක කුසල් ජනිත් පෙරේරා පැවසුවේ. ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට එංගලන්ත කණ්ඩායම සමග පැවති පන්දුවාර විස්ස තරග 3ම පරාජයට පත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා පිල එංගලන්තයට එරෙහිව අවසන් වරට පන්දුවාර විස්ස තරගයක් ජයග්‍රහණ කර ඇත්තේ 2014 වසරේදීයි. ඒ තිලකරත්න ඩිල්ෂාන්, ලසිත් මාලිංග, නුවන් කුලසේකර , තිසර පෙරේරා සහ ඇන්ජලෝ මැතිව්ස් යන අත්දැකීම් බහුල ක්‍රීඩකයින් ක්‍රීඩා කළ සමයේයි.

එමෙන්ම 2014 වසරෙන් පසුව එංගලන්තයට එරෙහිව පන්දුවාර විස්ස තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්කම් දක්වා නැහැ. ඒ අනුව ශ්‍රී ලංකා පිල අද තරගයට පිවිසෙන්නේ වසර 7කට පසු එංගලන්ත පිලට එරෙහිව පන්දුවාර විස්ස ක්‍රිකට් ජයක් අපේක්ෂාවෙන්.

දෙරට අතර මේ දක්වා පවත්වා ඇති පන්දුවාර විස්ස තරග සංඛ්‍යාව 9ක්. ඉන් තරග 5ක් එංගලන්තය ජය ගෙන ඇති අතර ශ්‍රී ලංකා පිල තරග 4ක් ජය ගැනීමට සමත්වුණා. විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් අනුව එංගලන්ත කණ්ඩායම පළමු ස්ථානයේ රැදී සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල 8 වන ස්ථානයේ පසුවනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha