'ආමි උපුල්' ඝාතන සිද්ධියේ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට
රාගම බටුවත්ත ප්‍රදේශයේදී ඉකුත් වසරේ ජූලි 3 වැනිදා 'ආමි උපුල්' ලෙස හැඳින්වුණු පුද්ගලයෙකුට ත්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් පිස්තෝලයකින් වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සිදුකළ විමර්ශන හරහා කරුණු රැසක් හෙළිවී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 17 වැනිදා වෙඩික්කරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු, ඔහුට ප්‍රවාහන පහසුකම් ලබාදීමෙන් ආධාර අනුබල දුන් සැකකරුවෙකු මාදම්පේ ප්‍රදේශයේදී පෙරේදා (18) අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු වයස අවුරුදු 29ක මාදම්පේ පදිංචිකරුවෙකි. එම සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්නකිරීම් හරහා ඉකුත් මාර්තු 7 වැනිදා ජාඇල ප්‍රදේශයේ නිවසකට වෙඩිතැබීමේ සිද්ධියටද ඔහු ආධාර අනුබල දුන් බව හෙළිවී තිබේ.
ඔහුගේ නිවසේ සිදුකළ සෝදිසියේදී බෝර 12 වර්ගයේ ගිනි අවියක් එම ගිනි අවියට අයත් පතරොම් 14ක් ව්‍යාජ අංක තහඩු යොදාගත් යතුරුපැදියක් අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර, 'ආමි උපුල්' ඝාතනයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු ඊයේ (19) වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු වයස අවුරුදු 35ක වැල්ලම්පිටිය පදිංචිකරුවෙකි. මෙම සැකකරුවන් දෙදෙනා ඉකුත් වසරේ ජූලි 14 වැනිදා මාදම්පේ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට කඩුවකින් පහරදී බරපතළ තුවාල සිදුකළ අපරාධයකද සැකකරුවන් බවටද අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් රාගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, රාගම පොලිසිය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.