පාස්කු ප්‍රහාරය ගැන තවත් විශේෂ තොරතුරක් එළියට - ISIS මතවාදීන් 129ක් ගැන තොරතුරු ලැබිලත් සියල්ල නොසලකා හැරලා
සහරාන් හෂීම් ඇතුළුව ISIS ත්‍රස්ත සංවිධානයේ මතවාදයට අනුව ක්‍රියාකරන මෙරට පුද්ගලයින් 129 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් 2019 ජනවාරි මසදී රාජ්‍ය බුද්ධි සේවය මඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර තිබූ බවත්, ඒ පිළිබඳ රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන් නිසි ක්‍රියාමාර්ග නොගත් බවටත් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අභියාචනාධිකරණය හමුවේ ඊයේ (17) චෝදනා කළේය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියේ විමර්ශනවලට අදාළව තමන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම ඊයේ යළි සලකා බැලූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයා මෙම කරුණු ඉදිරිපත් කර සිටියේය.
මෙහිදී පෙත්සම්කරු වෙනුවෙන් අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කියා සිටියේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලකළ සහරාන් හෂීම් ඇතුළු ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ අනුගාමිකයින් 129 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් 2019 ජනවාරි 31 වැනිදා රාජ්‍ය බුද්ධි සේවය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබූ බව ජනක් ද සිල්වා කොමිසම් වාර්තාවේ ද පැහැදිලිව සඳහන් කර ඇති බවයි.
ISIS ත්‍රස්ත සංවිධානයේ මතවාද මෙරට තුළ ක්‍රියාත්මක කරන පුද්ගලයින් පිළිබඳ එවැනි විශාල තොරතුරු සම්භාරයක් ලැබී තිබියදීත්, ඊට අමතරව 2018 වසරේ පාකිස්තානු බුද්ධි අංශය ද ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් පිළිබඳව අනතුරු අඟවා තිබියදීත්, වගඋත්තරකරුවන් සහරාන් හෂීම් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර නොගත්තේ මන්දැයි ඔහු ප්‍රශ්න කළේය.
මෙලෙස වගකීම් විරහිතව ක්‍රියාකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ අධ්‍යක්ෂවරයා වර්තමානයේ සිය සේවාදායකයා සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන්නේ කෙසේදැයි ජනාධිපති නීතිඥවරයා මෙහිදී අධිකරණය හමුවේ තර්ක කළේය.
එමෙන්ම 2017 වසරේ ඔක්තෝබර් මස 31 වැනිදා සිට ප්‍රහාරය සිදුවන අවස්ථාව දක්වා සහරාන් හෂීම් ඇතුළු ඔහුගේ අනුගාමිකයින් සිදූකළ අන්තවාදී ක්‍රියා පිළිබඳව එවක රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා විසින් පොලිස්පතිවරයා වෙත වාර්තා 97 ක් ඉදිරිපත් කර තිබූ බවත්, එහි පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද යොමුකර තිබූ බවත් වෙනත් නඩුකරයක දිවුරුම් පෙත්සමකින් අනාවරණය වී ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.
මාවනැල්ල බුදුපිළිම ප්‍රහාරය සහ වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීමේ සිද්ධීන් සමඟ සහරාන්ගේ සම්බන්ධය හෙළි වී තිබියදී සහ ඔවුන් සැඟවී සිටින ස්ථාන පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙකු වූ කෝනාර බණ්ඩාර මහතා තොරතුරු ලබාදී තිබියදීත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිසි පරිදි ක්‍රියාත්මක වූයේ නම් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට තිබූ බව ද ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.