නාවික හා ධීවර කටයුතුවල නිරත වන්නන්ට විශේෂ නිවේදනයක්- වෙරළාශ්‍රිත මුහුදු තීර රැසක සුළඟ සහ රළ ඉහළ යයි
කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් “අම්බර්” අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර, පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර වේගයකින් තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතින බවයි.
මේ අතර, පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.0ත් 2.5ත් අතර දක්වා ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම තත්ත්වය හේතුවෙන් නාවික හා ධීවර කටයුතුවල නිරත ජනතාවට අවධානයෙන් කටයුතු කරන ලෙසත්, මුහුදු ගමන්වලදී විශේෂ සැලකිල්ලක් දක්වන ලෙසත් බලධාරීන් දැනුම් දෙයි.