හිමාලයානු ගංවතුරෙන් නේපාල ආර්ථිකයට දැවැන්ත පහරක්- ජල විදුලි බලාගාර, පාලම් සහ මාර්ග රැසක් විනාශයි
මේ සතියේ නේපාලයට බලපෑ විනාශකාරී ගංවතුරෙන් පසු රට යළි ගොඩනැගීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 4ත් 5ත් අතර මුදලක් අවශ්‍ය විය හැකි බව නේපාල මුදල් අමාත්‍ය ස්වර්නිම් වග්ල් පවසයි.
ඔහු සෙනසුරාදා රොයිටර් පුවත් සේවය වෙත පවසා ඇත්තේ මෙම මුදල නේපාලයේ සමස්ත ආර්ථිකයෙන් දළ වශයෙන් දහයෙන් එකකට ආසන්න වන බවයි. “මූලික ඇස්තමේන්තුව ඩොලර් බිලියන 4ත් 5ත් අතරයි.
එය තවමත් ඇස්තමේන්තුවක් පමණයි. පාඩු සහ හානි තක්සේරු කරමින් පවතිනවා,” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
2015 වසරේ නේපාලයට බලපෑ දැවැන්ත භූමිකම්පාවෙන් පසු සිදුකළ ප්‍රතිසංස්කරණ වියදමට වඩා මෙවර අවශ්‍ය මුදල අඩු වනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු පවසා ඇත.
මුළු මහත් ලෝකයම කැළඹූ ඛේදවාචකය ගැන තවත් කැළඹීමක් - නේපාල හදිසි ගංවතුරෙන් ගසාගෙන ගිය සිරුරු ඉන්දියාවේ ගංගාවල
බදාදා ඇති වූ මෙම ව්‍යසනයේදී ග්ලැසියර කඩා වැටීමක් සමඟ විශාල පාෂාණ, අයිස්, මඩ සහ සුන්බුන් හිමාල කඳුකරයේ ගංගා පද්ධති ඔස්සේ වේගයෙන් ගලා ගොස් තිබේ. එම ආපදාවෙන් නේපාලයේ සහ චීනයට අයත් ටිබෙට් ප්‍රදේශයේ පුද්ගලයින් 600කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, තවත් 2,000කට වැඩි පිරිසක් අතුරුදහන්ව සිටින බව වාර්තා වේ.
ගංවතුර හේතුවෙන් දේශසීමා ආසන්න නගර රැසක් විනාශයට පත්ව ඇති අතර, පාලම් සහ මාර්ග විශාල ප්‍රමාණයක් ගසාගෙන ගොස් තිබේ. එමෙන්ම ප්‍රධාන ජල විදුලි බලාගාර කිහිපයකටද දැඩි හානි සිදුව ඇත
. 2015දී නේපාලයට බලපෑ රික්ටර් මාපකයේ 7.8ක ප්‍රබල භූමිකම්පාව එරට මෙතෙක් වාර්තා වූ දරුණුතම ස්වභාවික ආපදාවක් ලෙස සැලකේ.
එම භූමිකම්පාවෙන් පුද්ගලයින් 9,000කට ආසන්න පිරිසක් මියගොස්, නිවාස ලක්ෂ 5කට වැඩි සංඛ්‍යාවක් විනාශ වූ අතර, නේපාල ආර්ථිකයෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයකට හානි සිදුව තිබුණි.
කෙසේ වෙතත්, මෙවර ගංවතුරද නේපාලයේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
විදේශගත නේපාල ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ, සංචාරක කර්මාන්තය සහ ජල විදුලි බලශක්තිය මත දැඩි ලෙස රඳා පවතින නේපාල ආර්ථිකයට මෙම ව්‍යසනය විශාල පහරක් වී තිබේ.
විශේෂයෙන්ම, රටේ සමස්ත විදුලි උත්පාදන ධාරිතාවෙන් 12%කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන ජල විදුලි ව්‍යාපෘතිවලට ගංවතුරෙන් හානි සිදුව ඇති බව වාර්තා වේ.