ලොස් ඇන්ජලීස් ප්‍රබල භූ කම්පනයකින් කැළඹෙයි - ගුවන් තොටුපොළට හානි, තෙල් පිරිපහදුවෙත් ගින්නක්
ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් ප්‍රදේශයට ආසන්නව රික්ටර් මාපකයේ 5.0ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා.
ඊයේ (28) සිදුවූ මෙම භූ කම්පනය හේතුවෙන් ලොස් ඇන්ජලීස් ප්‍රදේශයේ ගොඩනැගිලි සෙලවී ඇති අතර, ගුවන් තොටුපොළට හානි සිදුවී තෙල් පිරිපහදුවකින් දුමාරයක් සහ ගිනිදැල් පිටවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර ඇත්තේ, ලොස් ඇන්ජලීස් ආසන්නයේ පිහිටි මෑන්හැටන් බීච් වෙරළට ඔබ්බෙන් මෙම භූ කම්පනයේ අපිකේන්ද්‍රය පිහිටා තිබූ බවයි. ප්‍රධාන භූ කම්පනයෙන් අනතුරුව පසුකම්පන කිහිපයක් ද වාර්තා වී තිබෙනවා.
මෙම තත්ත්වය හේතුවෙන් ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑමට සූදානම් වූ ඩෙල්ටා ගුවන් සේවයට අයත් ගුවන් යානයකට අවසන් මොහොතේ ගොඩබෑම අත්හිටුවීමට සිදුව තිබෙනවා.

ගුවන් යානය ධාවන පථයට ගොඩබැසීමට ආසන්නව තිබියදී භූ කම්පනය සිදුව ඇති අතර, ධාවන පථයේ ඉරිතැලීම් ඇතිවී තිබේද යන්න තහවුරු කරගැනීම සඳහා එම තීරණය ගෙන ඇති බව සඳහන්.
භූ කම්පනයෙන් පසු ඇති වූ පසුකම්පනයකින් ගුවන්තොටුපොළේ සුදු පැහැති සිවිලිම් පුවරුවක් ගැලවී වැටී ඇති අතර, පර්යන්තයක ජනේල කිහිපයක් ද බිඳී ගොස් තිබෙනවා.
මේ අතර, දකුණු කැලිෆෝනියාවේ පිහිටි Chevron තෙල් පිරිපහදුවේ ආරක්ෂක පද්ධති ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමත් සමඟ එහි ගිනිදැල් සහ දුමාරයක් දක්නට ලැබී තිබෙනවා.
කෙසේ වෙතත්, එම තත්ත්වය පාලනය කර ඇති බවත්, ප්‍රදේශයේ ජනතාවට කිසිදු ආරක්ෂක අවදානමක් නොමැති බවත් Chevron සමාගම ප්‍රකාශ කර තිබෙනවා.
ලොස් ඇන්ජලීස් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, භූ කම්පනයෙන් ඇතිවිය හැකි බලපෑම් තක්සේරු කිරීම සඳහා ගිනි නිවීමේ ස්ථාන 100කට අධික සංඛ්‍යාවක නිලධාරීන් යොදවා ගොඩබිමෙන්, ගුවනින් සහ මුහුදෙන් පරීක්ෂණ සිදුකළ බවයි.
එම පරීක්ෂණවලින් අනතුරුව ලොස් ඇන්ජලීස් නගරය තුළ සැලකිය යුතු යටිතල පහසුකම් හානියක් හෝ පුද්ගල තුවාල වාර්තා වී නොමැති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.
කැලිෆෝනියා ප්‍රාන්ත හදිසි සේවා කාර්යාලය ද ජනතාවට දැනුම් දී ඇත්තේ භූ කම්පන අනපේක්ෂිත බැවින් පසුකම්පන සඳහා සූදානමින් සිටින ලෙසයි.