2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්
67 වන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය එක්ව සංවිධානය කළ මෙම උළෙලේදී 2025 වසරේ විශිෂ්ට නිර්මාණ දායකත්වය අගයමින් ක්ෂේත්‍ර 50කට අධික සංඛ්‍යාවකින් ලේඛක ලේඛිකාවන් රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබූහ.
එහිදී මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයට ඉටුකළ අනුපමේය සේවය උදෙසා පිදෙන විශිෂ්ටතම “සාහිත්‍යරත්න” ගෞරව සම්මානයෙන් කිවියර පරාක්‍රම කොඩිතුවක්කු (සිංහල මාධ්‍ය), කිවියර සෝමසුන්දරම්පිල්ලේ පද්මනාදන් (දෙමළ මාධ්‍ය) සහ මහාචාර්ය ඊ.ඒ. ගාමිණී ෆොන්සේකා (ඉංග්‍රීසි මාධ්‍ය) යන මහත්වරුන් ජනාධිපතිවරයා අතින් පිදුම් ලැබූහ.
උත්සව සභාව ඇමතූ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සඳහන් කළේ කලා සහ සංස්කෘතික ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් කලා මණ්ඩල පනත ඇතුළු පනත් 5ක් සංශෝධනය කිරීමට සහ සංස්කෘතික මධ්‍යස්ථාන නංවාලීමට රජය පියවර ගෙන ඇති බවයි.