ගවුම් සායේ කෙළවර හොඳටම තෙමිලා කෙල්ලගේ මූන එච්චර හරි නෑ” සමාජ මාද්‍ය කැළඹු සිදුවීම..
අපි මනුස්සකමින් ජීවත් වෙන්න ඕනි කාලයක් එකිනෙකාට උදව් කරගනිමින් එකිනෙකාව තේරුම් අරන්.මේ කතාවත් ඒ වගේ මනුස්සකම ගැන කතාවක්.
ඊටත් එහා ගියා ප්‍රේමයට ගෞරවයක් එකතු කරන කතාවක්. කුඩේ. කැම්පස් දවසක, හවසක, තුම්මුල්ල හන්දියට පතුරු යන්න වහිනවා. වැස්සකට මුවා වෙන්න කොළඹ කැම්පස් එක, ශ්‍රී විහාර් එක, ලක්සල හෙම පේන මානේ තියනවා.
ඒත් අපි හිටියේ පාරෙන් අනිත් පැත්තෙ. බෞද්ධාලෝක මාවතේ. එතන තිබ්බේ ලොන්ඩරියේ කොට වහල කෑල්ල විතරයි. කුඩේ අමතක වෙච්ච එයා ඒ වහල කෑල්ල යට.
මලාට කූඩයක් පාවිච්චි නොකරපු මම පාරේ එහාට පැන පැන, මෙහාට පැන පැන ට්‍රයිශෝ එකක් නතර කරන්න ට්‍රයි එකක් දෙනවා. නතර කරපු එකම ත්‍රීවීල් එකත් 'කොළඹට දුවන්න බෑ මහත්තයා, පාර වන් වේ' කියලා ගියා. මුලින් වැස්ස වැටුනේ යන්තං සන්තං. පස්සේ ටිකක් සැරට ඇල්ලුවා.
මං නෑවා. එයාගේ ගවුම් සායේ කෙළවරක් හොඳටම තෙමිලා, වාටියෙන් වතුර බේරෙනවා. කෙල්ලගේ මූනත් එච්චර හරි නෑ. කාර් එකක් ආවා. අලු පාට සිඩෑන් ටයිප් කාර් එකක්. බී එම් ඩබ්ලිව් එකක් ද මන්දා, වර්ගෙ මතක් නෑ. ඇවිත් මං ගාවින් නතර කරා.
"පුතා ඩිකියෙ කුඩයක් ඇති අරගන්න." එහෙම කිව්වේ ඒ කාර් එක පැද්ද මහත්මයා. අවුරුදු හතලිහකට කිට්ටු පෙනුමක් තිබ්බේ මතක හැටියට. එයාට එහා පැත්තෙ හිටියේ, ඒ වගේම වයසේ නෝනා කෙනෙක්. මම ඔලුව නැමුවා. ඩිකිය ඇරියා. කුඩේ අරගත්තා. ඒක බස්තමක් වගේ දිග, බැංකුවකින් දීලා තිබ්බ, වටින කුඩයක්. "ඉන්න මං ගර්ල් ව හෙවනට ඇරලවලා ගෙනත් දෙන්නන්." කියලා මම යුතුකමට හිනා වුනා.
"නෑ පුතා තියාගන්න." මට ටිකක් අවුල් හිතුනා. ලැජ්ජකමද, උද්දච්ච කමද කියන්න මට තේරෙන්නේ නෑ. ඒත් එහෙම දෙයක් නිකං ගන්න බෑ වගේ ගතියක් දැනුනා. " නෑ එපා. මම ගෙනත් දෙන්නන්. ඉන්න. " ඒ මහත්මයා හිනා උනා. නෝනත් හිනා උනා. " ඔයා ඕක අරගෙන යන්න. අපි දෙන්නටත් ඔහොම අතීතයක් තියනවා.
" ඒ වචන ඒ විදිහට හැබෑ ලෝකේ ඇහුවෙ ජීවිතේ පලවෙනි වතාවට. මම ඒ මහත්මයා ට ස්තුති කරා. මම වෛද්‍ය ශිෂ්‍යයෙක් කියලත් කිව්වා. මගේ අමුතු නමත් කිව්වා. ඒ හැම දේකටම හිනා උනා මිසක් ඒ මහත්මයා ඒ දේවල් කනකට ගත්ත බවක් පෙනුනේ නෑ. මම ගෑණු ළමයව ටක් ගාලා එහාපැත්තෙ බැංකුවේ වහල යටට ගෙනියලා තියලා, කුඩේ ආයි දෙන්න ආවා. ඒත් ඒ වාහනේ ගිහින් තිබුණා. එදා ඒ ලොකු කුඩේ යටින් ගෑණු ළමයව පරිස්සමට එක්කන් යන ගමන් මම ගොඩක් දේවල් හිතුවා.
කවදා හරි මමත් ඔහොම කරනවා කියලා හිතුවා. පස්සේ බැඳපු කාලෙක ඒ මහත්මයා ව හොයාගෙන ගිහින් හම්බවෙලා, කුඩේ එක්ක තෑග්ගකුත් දෙන්න හීනයක් මැව්වා. ජීවිතේ හරිම අහඹුයි. සමහර කතා ලස්සනයි, ඒත් කෙටියි. අසම්පූර්ණයි. ඒ අසම්පූර්ණ අවසානයන් කව්රු කොහොම නිර්වචනය කරත් වැරදි නෑ. ඒත් ඒක ලස්සනයි. අද ඒ ගෑණු ළමයා නෑ. කුඩේ තියනවා.
දුර ගමනක් යද්දී මම තනියට අරං යනවා.
දුර ගමනක් ගිය කෙනෙක් ගෙන් ලැබුණු නිසා, ආරක්ෂාවක් දැනෙනවා.
එහෙම ගමන් වලදී සමහර වෙලාවට වහිනවා.
එහෙම වෙලාවට ඉබේටම වට පිට බැලෙනවා.
අපි වගේ කුඩයක් නැතිව තෙමි තෙමි ත්‍රීවීල් අල්ලන මෝඩ ජෝඩුවක් ඉන්නවද කියලා බලනවා.
එහෙම හම්බෙච්ච දවසට මේ කුඩේ මම එයාලට දෙනවා.
මොකද…
"මටත් ඔහොම අතීතයක් තියනවා."