හෝමාගම 'බනා මන්ත්‍රී' ඝාතකයා දවස් 4ක් මහරගම අවට ඔත්තු බලලා.. සැකකරු සියල්ල වමාරයි
හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව (46) ඊයේ (12) සවස මීගොඩ, ආටිගල මාර්ගයේ නඩුහේන පාර හන්දියේ බුදු පිළිමය ආසන්නයේදී වෙඩි තබා ඝාතනය කර ඇත. ඝාතනය සිදුවී පැයකටත් අඩු කාලයකදී, එයට සම්බන්ධ රියදුරු, ගිනි අවිය සහ මෝටර් රථය සමඟ බත්තරමුල්ල ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිස් විමර්ශනවලට අනුව, මෙම ඝාතනය විදෙස්ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ කප්පම්කරුවකු වන ලලිත් කන්නන්ගරගේ උපදෙස් මත සිදුකර ඇති බව හෙළිවී ඇත. බන්ධනාගාරගත 'ආමි සම්පත්' සහ 'පොලොන්නරුවේ සුද්දා' නමැති අපරාධකරුවන් දෙදෙනා මෙම ඝාතනය මෙහෙයවූ බවට තොරතුරු අනාවරණය වී තිබේ.
හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු පොලිසිය හමුවේ පපොච්චාරණය කර තිබෙනවා. ඒ අනුව ඔහුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සතියක කාලයක් රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.
පොලිසිය සඳහන් කළේ මොහු, ඝාතනය සඳහා පැමිණි මෝටර් රථයේ රියැදුරු බවයි. 30 හැවිරිදි වියේ පසුවන එම පුද්ගලයා වෙඩික්කරු සමඟ දින 4ක් මහරගම ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිට ඇති බවට හෙළිවී තිබෙනවා.
වෙඩික්කරු යුද හමුදා සේවයේ නියුතු පුද්ගලයෙක් බවටයි පොලිසිය සැකකරන්නේ.ඝාතනයෙන් පසු ඒ සඳහා යොදා ගත් මෝටර් රථ මෙම සැකකරු සමඟ ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ බත්තරමුල්ල - පාලම් තුන ප්‍රදේශයේදීයි.
එහි තිබී ඝාතනයට යොදා ගත් බවට සැකකෙරෙන පිස්තෝල අවිය, පතොරම් 14 ක් සහිත පතොරම් ගැබක්, ජංගම දුරකථන 08 ක් සහ බැංකු කාඩ්පත් 04 ක්ද පොලිසිය විසින් සොයාගනු ලැබුවා.
අත්අඩංගුවට ගත් සැකකරු, අත්තිඩියේ පදිංචි දමිත් ඉන්දික, 'පොලොන්නරුවේ සුද්දා'ගේ ඥාතියෙකු වන අතර, ඔහුට මෙම ඝාතනයට සම්බන්ධ වීම සඳහා රුපියල් 50,000ක මුදලක් ලැබී ඇති බව ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත. ඔහු මීට පෙර කොල්ලකෑම් ඇතුළු අපරාධ 10කට චෝදනා ලැබූවෙකි.
වටරැක, පාදුක්ක ප්‍රදේශයේ පදිංචිව සිටි ශාන්ත මුදුන්කොටුව, 'බනා මන්ත්‍රී' යන අන්වර්ථ නාමයෙන් ප්‍රකටව ඇති අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ හෝමාගම ප්‍රාදේශීය සභාව නියෝජනය කර ඇත. ඔහු අවසන් වරට 'සර්වජන බලය' පක්ෂය නියෝජනය කරමින් දේශපාලනයේ නිරතව සිටි අතර, ඔහුට එරෙහිව කිසිදු අපරාධ චෝදනාවක් පොලිස් වාර්තාවල සටහන්ව නොමැත.