ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානි ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සහ ජනපති අතර තීරණාත්මක සාකච්ජාවක්

By Sithumi Mar 03, 2023 03:11 PM GMT
Sithumi

Sithumi

Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (02) රාත්‍රියේ සූම් යෙදවුම ඔස්සේ සිදු කෙරිණි.

ශ්‍රී ලංකාව අපේක්ෂා කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ජා විය. මේ වන විට ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් ධනාත්මක සහ සුබවාදී පසුබිමක් ඊට අදාළ සියලු පාර්ශ්ව වෙතින් නිර්මාණය වෙමින් පවති. 

 පසුගියදා චීන අග්‍රමාත්‍යවරයා සමඟ පැවති සාකච්ජාවෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරිය ජනාධිපතිවරයා සමඟ මෙම සාකච්ඡාවට එක්වීම සුවිශේෂී තත්ත්වයකි. එමෙන්ම “බ්ලූම්බර්ග්” පුවත් සේවය පසුගියදා වාර්තා කර තිබුණේ ණය අර්බුදයට ලක්ව ඇති රාජ්‍යයන් වෙත අර්ථවත් අන්දමින් දායක වීම සඳහා බහුපාර්ශ්වික ප්‍රයත්නයන්ට සහභාගී වීමට චීනය විවෘතව සිටින බව චීන අග්‍රාමාත්‍ය ලී ක චිය්‍යන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරියට පවසා තිබෙන බවයි.

එහි වැඩිදුරටත් සඳහන්ව තිබුණේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය වැනි ණය බරින් පීඩිත රටවලට ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට එළැඹීමට අවශ්‍ය කටයුතු සලසන බවය.

- ජනාධිපති මාධ්‍ය අංශය