අවුරුදු නැකතට පැල ලක්ෂ 10 රෝපණය කළ බවට සනාථ වෙයි

srilanka mahinda amarawera narahempita
By Nimal Apr 23, 2021 04:51 AM GMT
Nimal

Nimal

Report

. අප්‍රේල් මස 16 දින ජාතික රුක්රෝපණ නැකතේදී මේ රටේ ජනතාව පැළ ලක්ෂ 10ක් ඉක්මවා රෝපණය කළ බවට දැනට ලැබී තිබෙන තොරතුරුවලින් සනාථ වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.

ජාතික රුක්රෝපණ නැකත ඉතාමත් සාර්ථක කර ගැනීමට අපිට හැකිවුනා. අපි නැකතට පැළයක් ලෙස නම් කර තිබු එම නැකතේ දී රටේ සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කළා තමන්ගේ ගෙවතුවල අඩුම තරමින් එක් පැළයක් හෝ රෝපණය කරන ලෙස. එම ඉල්ලීමට මහජනතාව ඉහළ ප්‍රතිචාර දක්වා තිබුනා.

මේ වනවිට අපිට ලැබී තිබෙන තොරතුරු අනුව පැළ ලක්ෂ 10කට වඩා රෝපණය කර තිබෙනවා. නමුත් ඉදිරි සති දෙක තුළ නිවැරදිම තොරතුරු අපිට ලැබෙයි. ඒ අනුව අඩු තරමින් පැළ ලක්ෂ 15 ඉක්මවා රෝපණය කරන්නට ඇතැයි අපි උපකල්පනය කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් ජගත් මිහිතල දිනය සමරමින් ඊයේ නාරාහේන්පිට ඇල්විටිගල නිවාස සංකීර්ණයේ වාසීන්ට පැළ බෙදාදීමේ වැඩ සටහනේ ප්‍රධාන ආරධිතයා වශයෙන් සහභාගිවු අවස්ථාවේ මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළකලේය.

මෙම අවස්ථාවට කොළඹ මහනගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක හා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිනි පේශලා ජයවර්ධන මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වුහ.

මෙහිදී අමාත්‍යවරයා අතින් ඇල්විටිගල නිවාස සංකීර්ණයේ වාසීන්ට දෙළුම්, පේර වැනි පලතුරු පැළ ද, සේර, කරපිංචා, හා මිරිස් වැනි පහසුවෙන් සීමිත ඉඩක වගාකළ හැකි පැළ වර්ග ද බෙදා දුන්නේය.

එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා-අපේ රටේ නාගරිකව වායු දූෂණය මැනීම සම්බන්ධයෙන් ගැටළු තිබෙනවා. තවමත් නිශ්චිතවම ජනාකීර්ණ නගරවල වායු දූෂණ තත්ත්වයන් මැනීම සඳහා විදිමත් ක්‍රමවේදයක් සකස් කර නැහැ. ඒ සඳහා ප්‍රමාණවත් තරම් උපකරණ නැහැ. ඒ නිසා අපි පරිසර අමාත්‍යාංශය විදියට මේ සම්බන්ධව පිලිගත හැකි දත්ත එක්රැස් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නා. ඒ වගේම අවශ්‍ය තරම් උපකරණ මිල දී ගැනීමටත් කටයුතු කරනවා. කොළඹ නගරාධිපතිනිය ප්‍රකාශ කලා කොළඹ නගරය තුළ දහවල් කාලයේ දී වායු ගෝලීය ගුණාත්මක දර්ශකය ඒකක 100 සිට 150 දක්වා ඉහළ යන බව. ඒක කිසිසේත්ම සෞඛ්‍ය සම්පන්න තත්ත්වයට උචිත තත්ත්වයක් නොවෙයි. මේ සඳහා රුක්රෝපණය කිරීමෙන් පමණක් පිළිතුරු සොයන්න බැහැ. වායු දූෂණයට හේතුවන තත්ත්වයන් අපි අවම කර ගත යුතුයි.ඒනිසා මම ඉදිරියේ දී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කර ගෙන මෙරටට අවශ්‍ය වාහන ආනයනයේ දී හැකිතරම් විදුලිබලයෙන් ක්‍රියා කරන වාහන ආනයනය කිරීමට ප්‍රමුඛත්වය ලබා දීම සඳහා. ඒ වගේම කෙටිදුරක් යන ගමන් සඳහා මෙන්ම ඇතැම් විශාල පරිශ්‍රවල ප්‍රවාහනය සඳහා හිරු කිරණ මගින් බල ගැන්වෙන කුඩා වාහන ආනයනය කළ හැකියි.

ඒ සඳහාත් රජයේ අවධානය යොමු කිරීමට පියවර ගන්නවා. අනික් කාරණය තමයි සමහරු පොලිතින් හා ප්ලාස්ටික්වලට ගිනි තබනවා. වායුගෝලීය ගුණාත්මකභාවය හානියට එම ක්‍රියාව ඉතාමත් හානිකරයි. පොලිතීන් හා ප්ලාස්ටික් ගිනි තැබීම නිසා පිළිකාකාරක අපද්‍රව්‍ය රැසක් අපේ වායු ගෝලයට එක්වීම මගින් අපේ පෙණහළු තුළට ඇතුලුවෙනවා. අපේ රටේ රෝහල්වල මිය යන පුද්ගලයින්ගෙන් වැඩි පිරිසක් ස්වශන පද්ධතිය ආශ්‍රිත රෝග තත්ත්වයන්ට ලක්වුවන් බව වෛද්‍යවරු පවසා තිබෙනවා.ඒ නිසා අද දින ජගත් මිහිතල දිනය සමරණ මෙම අවස්ථාවේ අපි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ප්ලාස්ටික් හා පොලිතීන් ගිනි තබන්න එපා. ඒවා ගිනිතැබීම මගින් ඔබ නොදැනුවත්වම සිදු කරන්නේ මරණයට අත වැනීමක්. ඒ වගේම අපි පසුගිය මාර්තු මස 31 සිට පොලීතීන් හා ප්ලාස්ටික් වර්ග කිහිපයක් තහනම් කළා. දැන් ඒවා නිපදවීම මුළුමනින්ම නැවතිලා. අපි තවත් පොලිතීන් හා ප්ලාස්ටික් ලැයිස්තුවක් සකස් කර තිබෙනවා. මම මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දුන්නා එම ලැයිස්තුවත් ඉක්මනින්ම ප්‍රකාශයට පත් කර ඒවාත් තහනම් කිරීමට පියවර ගන්නා ලෙස මම උපදෙස් දුන්නා.

අපේ රට පොලිතීන් හා ප්ලාස්ටික්වලින් තොර රටක් බවට පත් කිරීම රජයට පමණක් කළ හැකි දෙයක් නොවෙයි. ඒ සඳහා ප්‍රධාන වශයෙන් ජනතාවගේ සහයෝගයත් අවශ්‍ය වෙනවා. අපේ පරිසරය කාබන්වලින් තොර පරිසරයක් බවට පත් කිරීම සඳහා ජනාධිපතිතුමා ගෙන යන වැඩ පිළිවෙළට අපේ උපරිම සහයෝගය ලබා දිය යුතුයැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.