මහනුවරදී ළමයෙකු පැහැරගත් සැකකරු රිමාන්ඩ් -දරුවා වෛද්‍ය පරීක්ෂණයකට

Kandy
By Sithumi Aug 06, 2022 06:13 PM GMT
Sithumi

Sithumi

Report

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහර දින රාත්‍රියේ තම මව සමඟ පෙරහර නැරඹීමට පැමිණි මහනුවර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 09 ක දරුවෙකු පැහැරගෙන දුම්රියක ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයයි අද (06) මෙම නියෝගය ලබාදී තිබුණේ. මෙම පුද්ගලයා මහනුවර පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයකු වන අතර මොහු දරුවා සමග දුම්රියෙන් අවිස්සාවේල්ල බලා යමින් සිටියදී ඔහුගේ සැක සහිත හැසිරීම මත දුම්රිය මගීන් සැකකරු අල්ලා මහරගම පොලිසියට බාර දී තිබුණා.

අද (06) දින සැකකරු සහ දරුවා මහනුවර මූලස්ථාන පොලිසිය වෙත රැගෙන ගොස් තිබු අතර පොලිසිය ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා තිබුණේ තමන් මෙම දරුවාගේ මිත්තණිය දන්නා හඳුනන බවත් දරුවාට සෙල්ලම් බඩු රැගෙන දීම සඳහා ඔහු රැගෙන ගිය බවයි. දරුවාගේ මිත්තණිය සහ මව එම පුද්ගලයා කිසි දිනෙක දැක නොමැති බව සඳහන් කළ තිබුණා. මෙම පුද්ගලයා මීට පෙරද කුඩා දරුවකු පැහැරගෙන යාමට උත්සාහයක් දරා ඇති පුද්ගලයකු බව මහනුවර පොලීසිය සඳහන් කර තිබෙනවා. 

 සැකකරු මහනුවර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර මහනුවර මූලස්ථාන පොලිසිය මගින් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දරුවා මහනුවර ජාතික රෝහල වෙත යොමු කොට ඇති බවයි වාර්තා වන්නේ.