ශ්‍රී ලංකාව ගැන බ්‍රිතාන්‍යයෙන් ලැබුණු විශේෂ නිවේදනය..

By Sithumi Aug 02, 2022 02:29 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ ව පසුගිය දා ජනාධිපති ලෙස පත් කිරීම ඇතුළු, ශ්‍රී ලංකාවේ වේගයෙන් සිදුවන දේශපාලන සහ සමාජ තත්ත්වයන්හි චලනයන් පිළිබඳව සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කරන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

"ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික තත්ත්වය විසඳීම සඳහා එක්සත් රාජධානිය සිය ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ ගන්නා පියවර මොනවාදැ"යි

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී එරට විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කටයුතු පිළිබඳ ඡායා රාජ්‍ය ලේකම් ඩේවිඩ් ලැමි විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, රාජ්‍ය අමාත්‍ය (විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලය) අමන්දා මිලින් මේ බව කියා සිටිනවා.

අදාළ ප්‍රශ්නය සඳහා පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය මිලින් කියා සිටියේ, “ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන සහ ආර්ථික අභියෝග විසඳීම සඳහා සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් සොයා ගැනීමට එක්සත් රාජධානියේ රජය සියලු පාර්ශ්වයන් දිරිමත් කරන බවත්, පසුගිය දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත් කිරීම ඇතුළු වේගවත් දේශපාලන සහ සමාජ තත්ත්වයන් පිළිබඳ අපි සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර නීතියේ ආධිපත්‍යයට ගරු කරන ලෙසත්, ප්‍රචණ්ඩත්වයෙන් හා හානිවලින් වළකින ලෙසත් අපි සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා.”යනුවෙන්.

මේ අතර ඇය වැඩි දුරටත් කියා සිටියේ, එක්සත් රාජධානිය ලෝක බැංකුව, සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වැනි බහුපාර්ශ්වික ආයතන හරහා ආර්ථික ආධාර සපයන රාජ්‍යක් බවත්, එක්සත් රාජධානිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පස්වන විශාලත ම කොටස් ඇති රාජ්‍ය වන බවත් එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ ලෝක බැංකුවේ ප්‍රධාන දායකයෙක් ලෙස කටයුතු කරන බවයි.

එසේ ම ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 400 ක ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙන බවත්, එමගින් රටේ ආර්ථික සහ සෞඛ්‍ය ආධාර සැපයීම සඳහා එම අරමුදල් යෙදවීමට කටයුතු කරන බවත් ඇය කියා සිටියා. එසේ ම ඇය වැඩිදුරටත් කියා සිටින්නේ, ජාත්‍යන්තර ණය වේදිකාවල එක්සත් රාජධානියට සැලකිය යුතු හඬක් ඇති බවයි.

එසේ ම බ්‍රිතාන්‍ය, ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට විසඳුම් සෙවීම සඳහා පැරිස් සමාජයේ සෙසු සාමාජිකයන් සහ ලෝක බැංකුව ඇතුළු බහුපාර්ශ්වික සංවිධාන සමඟ සමීපව කටයුතු කරමින් සිටින බව ද ප්‍රකාශ කරනවා. 

 ඉකුත් ජූනි ජූනි 9 වැනි දින දියත් කරන ලද එක්සත් ජාතීන්ගේ ඒකාබද්ධ මානුෂීය අවශ්‍යතා සහ ප්‍රමුඛතා (HNP) සැලැස්ම මත පදනම්ව, ශ්‍රී ලංකාවේ සම්බන්ධීකරණ ප්‍රතිචාරය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ එහි නියෝජිතායතනවලට සහාය දෙන බව කියා සිටින ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ, වඩාත් අවදානමට ලක්ව සිටින සහ ක්ෂණික සහාය අවශ්‍ය මිලියන 1.7 ක පිරිසකට ජීවිතාරක්ෂක ආධාර සැපයීම සඳහා ඩොලර් මිලියන 47.2 ලබා දීමට සැලසුම් කර ඇති බවයි.