වැඩට ඇවිත් මිනිත්තු 20න් ගේ සුද්ද කළ කාන්තාව අත්අඩංගුවට

By Sithumi Mar 06, 2023 12:26 PM GMT
Sithumi

Sithumi

Report

නිවසේ මෙහෙකාර සේවයට පැමිණි දවසේම මිනිත්තු කිහිපයක් ඇතුළත එම නිවසේ භාණ්ඩ සොරාගෙන පළාගිය කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

  දෙමටගොඩ සියපත් සෙවන නිවාස සංකීර්ණයේ පදිංචිව සිටින 38 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක සිය නිවසේ සේවය සඳහා මෙහෙකාරියක් අවශ්‍ය බවට දැන්වීමක් පළකර තිබෙන්නේ වෛද්‍යවරයෙකු විසින්.

ඒ අනුව සැකකාර කාන්තාව පසුගිය 25 වනදා අදාළ නිවසට පැමිණ ඇත්තේ මෙහෙකාර සේවයට බව පවසමින් අනතුරුව මිනිත්තු 20 වැනි කෙටි කාලයක් තුළදී අදාළ කාන්තාව එම නිවසේ තිබූ රන් භාණ්ඩ සොරාගෙන පළාගොස් ඇති බවට ලද පැමිණිල්ලකට අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා එහිදී බම්බලපිටිය පොලීසිය විසින් CCTV ආශ්‍රිතව සිදුකළ විමර්ශනවලදී සැකකාර කාන්තාව වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා. 

සොරාගන්නා ලද රන් භාණ්ඩ හෙට්ටිවීදියේ රන් භාණ්ඩ අලෙවිසැලකට විකුණා ඇති බවයි සැකකාර කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ. පසුව පොලීසිය සිදුකළ පරීක්ෂාකිරීම්වලදී උණුකර තිබූ එම රන් භාණ්ඩ සොයාගැනීමට සමත්ව තිබෙනවා. 

සැකකාරිය තලංගම, හෝමාගම, අංගොඩ, මහබාගේ, වත්තල, ජාඇල, දෙමටගොඩ, බ්ලූමැන්ඩල් හා නිට්ටඹුව ප්‍රදේශවල නිවාසවල මෙහෙකාර සේවය සඳහා ගොස් මේ අයුරින් දේපොළ සොරාගැනීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව ඇපමත නිදහස්ව සිටින කාන්තාවක් බවටද වැඩිදුර විමර්ශනවලදී තොරතුරු අනාවරණ වී තිබෙනවා. අත්අඩංගුවට ගත් කාන්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර බම්බලපිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.