වසර 75කට පසු ප්‍රබලම එල් නිනෝවක් - ලංකාවට සිදුවන බලපෑම ගැන අනතුරු ඇඟවීමක්

Report

වසර 75කට පසු ලංකාවට බලපෑ හැකි ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ. මේ වසර අවසන් වන විට එල් නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල මට්ටමකට පත්වීමේ සම්භාවිතාව සියයට 90කට ආසන්න බව ගෝලීය කාලගුණ පුරෝකථන මගින් පෙන්වා දෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මේ වසරේ ඇතිවීමට නියමිත එල් නිනෝ තත්ත්වය පසුගිය වසර 75ක කාලය තුළ වාර්තා වූ එල් නිනෝ තත්ත්වයන්ට වඩා ප්‍රබල විය හැකි බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා සඳහන් කළේ, එල් නිනෝ තත්ත්වය මේ වනවිට ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බවයි. ඔහු පෙන්වා දෙන්නේ, මේ වසර අවසානය වනවිට ඉතා ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව සියයට 90කට වඩා වැඩි බවට ගෝලීය පුරෝකථන මගින් පෙන්වා දී ඇති බවයි.

අස්වැසුම දීමනාව ගැන නිවේදනයක් - අගෝස්තු මාසයේ අස්වැසුම ලැබෙන දිනේ මෙන්න

අස්වැසුම දීමනාව ගැන නිවේදනයක් - අගෝස්තු මාසයේ අස්වැසුම ලැබෙන දිනේ මෙන්න

එමෙන්ම 1950 වසරේ සිට මේ දක්වා වාර්තා වූ එල් නිනෝ තත්ත්වයන් සමඟ සසඳන විට, මේ වසරේ ඇතිවන එල් නිනෝ තත්ත්වය එම සියලු තත්ත්වයන්ට වඩා ප්‍රබල එකක් වීමේ සම්භාවිතාව සියයට 70කට ආසන්න බවද අජිත් විජේමාන්න මහතා සඳහන් කළේය. මේ අතර, පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙරට ජලාශවල ජල මට්ටම පිළිබඳවද අවධානය යොමුවී තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ, එම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 74හි පවතින ජල ප්‍රමාණය මේ වනවිට සියයට 37කට ආසන්න මට්ටමකට පහළ බැස ඇති බවයි. කෙසේ වෙතත්, පවතින ජල ප්‍රමාණය යල කන්නයේ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් වනු ඇතැයි අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු එච්.එන්.පී.එස්.ඩී. හේරත් මහතා සඳහන් කළේය.

ඔහු පෙන්වා දෙන්නේ, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල අපේක්ෂිත වර්ෂාපතනය ලැබෙන තුරු පවතින ජල ප්‍රමාණය ප්‍රමාණවත් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි. මේ අතර, දිවයින පුරා පානීය ජල සැපයුම සම්බන්ධයෙන් මේ වනවිට කිසිදු ගැටලුවක් නොමැති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා සඳහන් කළේ, දිවයින පුරා පිහිටි ජල පිරිපහදු මධ්‍යස්ථාන සියල්ලම උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කරමින් ජලය සපයන බවයි.

දිස්ත්‍රික්ක කිහිපයක වියළි කාලගුණ තත්ත්වයක් පැවතුණද, ජල සැපයුම අඩු කර නොමැති බවද ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත්, වාරිමාර්ග ජලාශ කිහිපයක ජල මට්ටම සියයට 56කට වඩා පහළ ගොස් ඇති බැවින්, ඉදිරියේදී ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම වැදගත් බව අදාළ අංශ පෙන්වා දෙයි.

ඉදිරියේදී එල් නිනෝ තත්ත්වය තවදුරටත් ප්‍රබල වුවහොත් එය මෙරට වර්ෂාපතන රටාවට මෙන්ම ජල සම්පත් කළමනාකරණයටද බලපෑම් එල්ල කළ හැකි බැවින්, ඒ පිළිබඳව අවධානයෙන් පසුවීම වැදගත් වනු ඇත.

පාස්කු ප්‍රහාර නඩුව තීරණාත්මක අවස්ථාවකට පිවිසෙයි - විත්තිකරුවන්ගේ විත්තිවාචක ඉදිරිපත් කිරීම අද සිට ඇරඹෙයි

පාස්කු ප්‍රහාර නඩුව තීරණාත්මක අවස්ථාවකට පිවිසෙයි - විත්තිකරුවන්ගේ විත්තිවාචක ඉදිරිපත් කිරීම අද සිට ඇරඹෙයි