ඉදිරි සති දෙකේ කුමක් කළත් වැඩක් නැහැ...ඉක්මනින් දැඩි සංචරණ සීමා පනවන්නැයි අනතුරු අඟවයි.(VIDEO)

Covid Corona Sri Lanka PHI
By Aruna Aug 10, 2021 07:09 AM GMT
Aruna

Aruna

Report

ඉදිරි සති දෙක තුළ කුමන දෑ සිදුකළත් කොවිඩ් ආසාදිතයින්ගේ සහ මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසා සිටියේ, සෞඛ්‍ය අංශයට දරාගත නොහැකි අන්දමින් රෝගීන් වැඩිවීම කඩිනමින් පාලනය කළ යුතු බවය.

ආර්ථික හානිවීම් අවම කර ගනිමින් සියලුම ඒකරාශීවීම් අත්හිටුවීමට සිදුවන බව ද ඒ මහතා තරයේ අවධාරණය කර සිටී.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු උපුල් රෝහණ මහතා, "ඉදිරි දින 14 තුළ මේ තත්ත්වය අපි මොනවා කරත් ඉතා සීඝ්‍රයෙන් ඉහළ යනවා රෝගීන් සහ මරණ සංඛ්‍යාව.

ඒ නිසා රෝහල් හා සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි ලෙස රෝගීන් වැඩිවීම කඩිනමින් පාලනය කළ යුතු වෙනවා.

ආර්ථිකය සමඟ කළමනාකරණය කර ගැනීම සඳහා ආර්ථික හානිය අවම වන විදියට සියලුම සමාජ ඒකරාශීවිම් නැවැත්වීමට සිදුවනවා.

දිස්ත්‍රික්ක හා පළාත් අතර සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතු වෙනවා.

ඒ වගේම අනවශ්‍ය ලෙස ආයතනවලට සේවකයින් ගෙන්වීම වහාම අත්හිටුවිය යුතුයි.

රෝගීන් වැඩිවීම පාලනය කර ගත්තේ නැත්නම් ව්‍යවසනයකට තල්ලු වෙනවා.

අපි ක්‍රියාමාර්ග ගන්න පහුවෙන හැම මොහොතක් පසා ම ජීවිත කිහිපයක් බිළිගන්න එක තමා වෙන්නේ.

ඒ නිසා එහි වගකීම අපි සියලුදෙනා සතුවෙනවා." මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ, බිම් මට්ටමේ වාර්තා වන ආසාදිතයින් හා මරණ නිවැරදිව ජනතාව අතරට නොයෑම නිසා ජනතාව තුළ බියක් හෝ නිසි අවබෝධයක් ඇති නොවන බවය.

මේ අතර, බොහෝ රෝහල්වල මෘත ශරීරාගාර ද කොවිඩ් මෘතදේහ වලින් පිරී ගොස් ඇති අතර, රෝහල්වල වාට්ටු ද කොවිඩ් රෝගීන්ගෙන් පිරී පවතී .

මේ තත්වය තුළ රෝහල් ධාරිතාවට දරාගත නොහැකි මට්ටමට රෝගීන් වාර්තා වෙමින් තිබෙන බැවින්, රෝගීන් වාර්තා වීම අවම කර ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග වලට යාම අත්‍යවශ්‍ය බව ද සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇතැයි දැනගන්නට තිබේ .

මේ අතර ජනාධිපතිවරයාගෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලීමක් කර ඇත්දැයි කල විමසීමකට සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රතිචාර දක්වයි.

ඔහු පැවසුවේ එය විකල්ප යෝජනා අතර සැමදා පවතින බවයි. නමුත් සියලු පාර්ශ්වයන්ට එකතු වී සාකච්චා කර අවසන් තීරණය ගන්නා බවත් ඔහු පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් කරන ලදී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now