ගුවන් ගමන් ගාස්තු ඇතුළු සියලු පහසුකම් සහිතව කොරියාවට යන්න අවස්ථාවක් - මේ සුදුසුකම් තියෙන අය 22ට පෙර අයදුම් කරන්න
දකුණු කොරියාවේ බුසාන් හි පැවැත්වෙන 2026 පිරිසිදු ක්‍රීඩා තරුණ කඳවුරේදී ජාතිය නියෝජනය කිරීම වෙනුවෙන් තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ පුහුණුකරුවෙකුට අවස්ථාවක් ලබා දෙන බවට ශ්‍රී ලංකා තහනම් උත්තේජක විරෝධී ඒජන්සිය (SLADA) මඟින් නිවේදනය කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා තහනම් උත්තේජක විරෝධී ඒජන්සි ආයතනයට අනුව, පූර්ණ අරමුදල් සහිත, දින හතක නේවාසික වැඩසටහන අගෝස්තු මාසයේදී පැවැත් වේ.
එමඟින් ජාත්‍යන්තර නිරාවරණය, නායකත්ව සංවර්ධනය සහ සංස්කෘතික හුවමාරුව ලබා දෙනු ඇති බව සඳහන්.
මේ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හතර දෙනෙකු සහ පුහුණුකරුවෙකු සහභාගී කරවා ගනු ලබයි.
ඒ අනුව සුදුසුකම් ලත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2006 සහ 2008 අතර උපත ලබා තිබිය යුතු අතර, ඉංග්‍රීසි භාෂාවෙන් සන්නිවේදනය කළ හැකි විය යුතු වේ.
එමෙන්ම ලෝක තහනම් උත්තේජක විරෝධී නීති සංග්‍රහය යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වශයෙන් පිළිගැනෙන අය විය යුතු බවත් සඳහන්.
ඊට අමතරව තෝරාගත් සහභාගිවන්නන්ට වට-ගමන් ගුවන් ගමන් ගාස්තු, නවාතැන්, ආහාර සහ දේශීය ප්‍රවාහන ගාස්තු ලැබෙන බව වාර්තා වේ.
ඒ අනුව අයදුම්කරුවන් 2026 ජුනි 22 වන දින ශ්‍රී ලංකා වේලාවෙන් සවස 5:00 ට පෙර info@slada.lk වෙත තම CV එකක් සහ ආවරණ ලිපියක් ඉදිරිපත් කළ යුතු බව දන්වයි.