ඉහළ යන තෙල් මිල හමුවේ ඉහළටම යන බස් ගාස්තු සහ ත්‍රිරෝද රථ ගාස්තු මිල වැඩි වෙන්නේ මෙහෙමයි..?

sri lanka bus fares gagana news Sri lanka sinhala news today trending news Three wheeler fares
By krishani Mar 11, 2022 09:03 AM GMT
krishani

krishani

Report

ලංකා අයි.ඕ.සී. සමාගම ඉන්ධන මිල ඉහළ නැංවීමට සාපේක්ෂව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ඉහළ නැංවීම හෝ එලෙස මිල වැඩි කිරීමකින් තොරව පවත්වාගෙන යා හැකිද යන්න සම්බන්ධයෙන් අද(11) සාකච්ඡා කරන බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් තමන් පළමුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ඇතුලු නිලධාරීන් සමඟ සාකච්ඡා කරන බවයි.

ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමඟද සාකච්ඡා කරන බවයි බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ වැඩිදුරටත් කියා සිටියේ.

ලංකා අයි.ඕ.සී. සමාගම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් සහ පෙට්‍රල් මිල ගණන් ඉහළ නංවනු ලැබුවා.

ඒ අනුව එම සමාගමේ සියලුම වර්ගයේ ඩීසල් ලීටරයක් රුපියල් 75කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් ඉහළ නැංවීමටයි පියවර ගත්තේ.

මෙලෙස සියයට 54 කින් මිල ඉහළ නැංවූ අයි.ඕ.සී. ඩීසල් ලීටරයක මිල රුපියල් 214 ක් වන අතර, සියයට 27 කින් මිල ඉහළ නැංවූ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 254 ක් වනවා.

මෑත ඉතිහාසයේ වැඩිම අගයකින් ඉන්ධන මිල ඉහළ දැමූ ප්‍රථම අවස්ථාව මෙයයි.

අයි.ඕ.සී. සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා රුපියල දින හතක් තුළ ඩොලරයට සාපේක්ෂව දෙවතාවක් අවප්‍රමාණ වීම මෙලෙස මිල ඉහළ නැංවීම සඳහා බලපා ඇති බවයි.

මේ අතර ලංකා අයි.ඕ.සී. සමාගම සිය මිල අවස්ථා කිහිපයකදී ඉහළ දැමුවද එම සමාගමේ ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් සඳහා ප්‍රවාහන ගාස්තු ඉහළ නංවා නොමැති බවට ලංකා අයි.ඕ.සී. බවුසර් හිමියන්ගේ සංගමය චෝදනා කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ පවතින තත්වය හමුවේ අයි.ඕ.සී. ඉන්ධන ප්‍රවාහනය සඳහා රුපියල් 15,000ක පමණ අමතර මුදලක් වැයවන බවයි. මේ හේතුවෙන් අද දිනයේදී ලංකා අයි.ඕ.සී. ඉන්ධන බෙදාහැරීමේ කැපී පෙනෙන අඩුවීමක්ද සිදුව තිබෙනවා.

මේ අතර ලංකා අයි.ඕ.සී. සමාගම සිය ඉන්ධන මිල ඉහළ නැංවීම හමුවේ ජනතාව වැඩි වශයෙන් සිපෙට්කෝ පිරවුම්හල් වෙත යොමුවීමත් සමඟ, එම පිරවුම්හල්වල පෝලිම් තවදුරටත් දිගු වී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාව ඉල්ලා සිටි ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය පහසුකම සඳහා ඉන්දීය මහ බැංකුවේ අනුමැතිය හිමිව ඇති බව එරට මාධ්‍ය සඳහන් කළා. එය ප්‍රධාන වශයෙන් යොදාගැනෙනු ඇත්තේ ඉන්ධන ආනයනයට යි. මෙහි දී ණය පහසුකමෙන් සියයට 75ක් ඉන්දීය අපනයනකරුවන්ගෙන් භාණ්ඩ ආනයනය කිරීම සඳහා යොදාගත යුතු අතර, ඉතිරි සියයට 25 වෙනත් ඕනෑම රටකින් භාණ්ඩ ආනයනය සඳහා යොදාගත හැකියි. ණය පහසුකම මාස හයක කාලය සඳහා ක්‍රියාත්මක වන අතර, ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත එය තවත් වසරක කාලයක් සඳහා දිගු කළ හැකි බවයි ඉන්දීය මහ බැංකුව දන්වා ඇත්තේ.

මේ අතර, ඉන්ධන මිළ ඉහළ දැමිම හේතුවෙන් බස් සහ ත්‍රීරෝද රථ ගාස්තු වැඩි කිරීමක් අවශ්‍ය බව එම සංගම් ප්‍රකාශ කළා.

කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ අයි.ඕ.සී සමාගම ඉන්ධන මිල වැඩිකළ අයුරින් සිපෙට්කෝ සමාගම ද මිල ඉහළ නංවනු ලැබුවහොත් රුපියල් දාහතේ අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි කිරිමට සිදුවන බවයි .

එසේම සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ත්‍රිරෝද රථ ගමනක පළමු කිලෝමීටරය සඳහා රුපියල් 80 ක ගාස්තුවක් අය කිරීමට සිදුවන බවයි.

මේ අතර අද සිට සියලුම ගුවන් ප්‍රවේශපත්‍රවල මිල ගණන් සියයට 27 කින් ඉහළ දමා තිබෙනවා.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස සඳහන් කළේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණ වීමත් සමඟ මෙම තීරණයට එළඹීමට සිදුවූ බවයි. ඩොලරයක් සඳහා විනිමය අනුපාතිකය මේ වනවිට රුපියල් 203 සිට රුපියල් 260 දක්වා ඉහළ ගොස් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now