"Photos ලීක් වෙලා..මේ අපරාධය කරන්නෙ කවුද කියලා මම දන්නවා.මගෙ සමහර ඡායාරූප තිබුණෙ එයා ළඟ.." - ජයග්‍රහණය තෙක් සටන අත් නොහැරි හෙදියකගේ ආත්මකථනය

sri lanka arrested gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 01, 2022 08:56 AM GMT
krishani

krishani

Report

ලංකාවෙ කාන්තා පාර්ශවයට තිබුණු ලොකුම ගැටලුවක් තමයි සයිබර් අවකාශයේ සිද්ධවෙන අපරාධ වලට නීතිමය පියවරක් ගන්න බැරි වෙන එක. එවැනි අපරාධයකදී අපරාධකරුවන්ට දඬුවම් දෙන්න හෝ නීතියට හසු කර දෙන්න ක්‍රමවත් පටිපාටියක් නැති එක හෝ ඒ පිළිබඳව දැනුවත්කමක් නැති එක.

මේ හේතුව නිසා කාන්තා පාර්ශවය විශාල වශයෙන් හිංසනය ටත් මානසික අවපීඩනය ටත් සමහර අවස්ථාවල ජීවිතෙන් වන්දි ගෙවන්න පවා සිද්ධ වෙලා තියෙනවා.

මේ සිද්ධිය වාර්තා වෙන්නෙ මහියංගණය ප්‍රදේශයෙන්. සමාජ මාධ්‍ය වල සංසරණය වෙමින් තිබුණු නඩු වාර්තාව ඇතුලත් විස්තරයේ ඇගේ නම විදිහට පාවිච්චි කරලා තිබුණේ මධූ කියන එක.

මමත් මෙතන ඒ නම පාවිච්චි කරනවා. මධූගේ පාසල් ප්‍රේමය විවිධ ගැටලුකාරී තත්වයන් මැද අවසන් වෙන්නේ 2015 අවුරුද්දේ. ඉන්පස්සෙ ඇය තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සි වෙලා හෙද වෘත්තියට ඇතුළත් වෙනවා. ඇය හෙදියක් විදිහට වැඩ පටන් ගන්නකොට ඇයගේ අමන නොසන්ඩාල පෙම්වතා තමන්ගෙ අසික්කිත කම ප්‍රදර්ශනය කරන්න පටන් ගන්නවා.

මෙතැන් පටන් ටානියා මෝසස්ගෙ සටහනක් ඇසුරෙන් මධූ වින්දිත පාර්ශවය විදිහට ඇගේ අභියෝගය ජයගත්ත ආකාරය ඇගේ වචනවලින්ම ඉදිරිපත් කරනවා.

"මේ සම්බන්ධය නිමා වෙලා ටික දවසකට පස්සේ මගෙ ෆෝන් එකෙන් ඔහුට යවපු සාමාන්‍යය ඡායාරූප ඉතාම සාහසික විදිහට නිරුවත් ඡායාරූප විදිහට සංස්කරණය කර ව්‍යාජ ෆේස් බුක් ගිණුමක් හරහා පලවෙන්න පටන් ගත්තා. මා හොඳින්ම දන්නවා මේ මා නොවෙයි. විටින් විට පලවන මේ ව්‍යාජ සංස්කරණ මම දරාගත්තේ මගෙ හෘද සාක්ෂිය සම්බන්ධව ඇතිවුණු විශ්වාසයත් එක්ක. මම අධ්‍යාපනය නිමා කළා. මගෙ වෘත්තීය ජීවිතය සාර්ථක කරගත්තා. හෙදියක් විදිහට මම රැකියාව කරමින් හිටියා. ඒත් 2020 දී මට දරාගන්න බැරිවුණ සිද්ධියක් වුණා. මගෙ ෆේස් බුක් ගිණුමේ පලවුණු හෙදියක් ලෙස මගෙ නිල ඇඳුමින් ගත් ඡායාරූප, සාමාන්‍ය ඇඳුමින් ගත් ඡායාරූප සහිතව සංස්කරණය කළ නිරුවත් ඡායාරූප එකවර පළ වෙන්න ගත්තා. මේ ව්‍යාජ ගිණුම හදාගෙන සිටි පුද්ගලයා මගෙ ෆේස් බුක් ගිණුමේ සිටින මිත්‍රයින්, මගෙ නෑදෑයින්, නුවර මගෙ ගමේ අය, වෘත්තීයේ අය විශේෂයෙන් මිතුරු ඉල්ලීම් හරහා එකතු කරගෙන ඒ ගිණුම ඔස්සේ මේ ඡායාරූප පල කරන්න පටන් ගත්තා. ඒ එක්කම මේ තැනැත්තා ඒ සංස්කරණ අසභ්‍ය වෙබ් අඩවිවලටත් එකතු කළා. පෞද්ගලික වට්ස්ඇප් ගෘප්වල සංසරණය කළා. හෙදියක් ලෙස මගෙ නිල ඇඳුමින් ලබා ගත් ඡායාරූප සමග පලවුණු මේ ඡයාරූප පෙළ ප්‍රසිද්ධ දේශපාලන පක්ෂයකට අයත් ගිණුමක පලවීමත් සමගම ඒවා වයිරල් වුණා. නර්ස් කෙනකුගෙ ෆොටෝ ලීක් වෙලා… එහෙම තමයි කතාව ගියෙ. මේ අපරාධය කරන්නෙ කවුද කියලා මා හොඳින්ම දැනගෙන හිටියා. මගෙ පාසල් ප්‍රේමය. මගෙ සමහර ඡායාරූප තිබුණෙ ඔහු ලඟ. ඒ වනවිට ඔහු මගේ ජීවිතයේ වැදගත් හැම අවස්ථාවක්ම ඉලක්ක කරගෙන මට ප්‍රහාර එල්ල කරමින් හිටියෙ. ඔහු වෙබ් ඩිවලොපර් කෙනෙක්. තාක්ෂණය ගැන ඉහළම දැනුමක් ඇති කෙනෙක්. ඒ නිසාම ඉතාම සූක්ෂමව සිය තාක්ෂණික දැනුම සහ කාලය යොදවමින් මේ විනාශය කළා. ඔහුව කවදාවත් අධිකරණයක් ඉදිරියට නොයනු ඇතැයි විශ්වාසයක් ඔහුට තිබුණා. මගෙ තාත්තා නෑ. අම්මයි මල්ලියි ඉන්නෙ. මල්ලි ඉගෙන ගන්නවා. මට මේ අපරාධයට එරෙහි වෙන්න බෑ කියලත් ඔහු හිතුවා. පළමු පොලිස් පැමිණිල්ල… මේ සියල්ල එක්ක මට පීඩනය දරා ගන්න බැරි වුණා. ඒ වනවිට කොවිඩ් වසංගතය උත්සන්න වුණු වෙලාව. මා වැඩ කළේ කොරෝනා වාට්ටුවක. රාජකාරි මට්ටමින් පවා විනය පරීක්ෂණ තියන්න සූදානම් වුණා. ගෙදර අය මා නිවැරදියි කියලා දැනගෙන හිටියා. ඒත් අම්මා මේක ගත්තෙ පුදුම වේදනාවකින්. මල්ලි මාත් එක්ක කතා නොකර හිටියා. යාලුවො මාව අත් හැරියා. සමහර ලඟින් හිටපු අය අයුතු ප්‍රයෝජන ගන්න බැලුවා. ඒත් මගෙ වටේ මට ශක්තියක් වෙන්න පිරිසක් ඉතිරි වුණා. මට ආත්ම ශක්තිය ඇති කරගන්න ඒ පිරිස ප්‍රමාණවත් වුණා. මම ඒ වනවිට රාජකාරි කළේ ඌව පළාතෙ රෝහලක. මුලින්ම ගියේ ළඟම තියන පොලිසියට ගිහින් පැමිණිල්ලක් දැම්මා. පොලිසිය සැකකරු ගෙන්නුවා. ඒත් ඔහු තමන්ගෙ තාක්ෂණික දැනුම පාවිච්චි කරලා විමර්ශකයින් නොමග යැව්වා. සිද්ධියක සමතයකට පත් වෙන්න කීවා. ඒ ගිහින් නැවත වඩාත් තීව්‍ර විදිහට මේ මනුස්සයා මේ හැසිරීම කරගෙන ගියා. ළමා හා කාන්තා කාර්යාංශයට… පස්සෙ මගෙ යාලුවකුගෙ මග පෙන්වීම යටතේ ළමා හා කාන්තා කාර්යාංශයට යොමු වුණා. නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහත්මයා ඒ වනවිට එතැන ප්‍රධානියා. ඔහු මා සහකාර පොලිස් අධිකාරී දර්ශිකා වෙත යොමු කරලා ඇයගේ මග පෙන්වීම මත සමාජ මාධ්‍ය අපරාධ අංශයට යොමු කළා. එම අංශයට ලිඛිත පැමිණිල්ලක් සහ ඊමේල් මගින් පැමිණිල්ලක් කළා. මේ අතරතුරත් ඔහු ෆේක් එකවුන්ට් ගණනක් හදාගෙන ඡායාරූප පල කරනවා. මඩ ගහන්න බලන් ඉන්න අය මඩ ගහනවා. මේ මානසික පීඩාව සමනයකට පත් කරගන්න වෛද්‍ය උපදෙස් පවා මම ගත්තා. ප්‍රතිකාරවලට යොමු වුණා. ඒ අතරෙ මා නිවැරදි නිසා නීතියෙ පිළිසරණක් ලැබෙයි කියලා තදින් විශ්වාස කළා. මේ වනවිට සමාජ මාධ්‍ය අපරාධ අංශයේ විශිෂ්ට නිලධාරීන් ෆේස් බුක් සමාගමත් එක්ක සම්බන්ධ වෙලා තොරතුරු අරගෙන, අධිකරණ නියෝග මත දුරකථන සමාගම්වලින් තොරතුරු අරගෙන විශිෂ්ට තාක්ෂණික මෙහෙයුමක් කරලා තිබුණා. දඩය ලක්ෂ 08යි… අවුරුදු එක හමාරක් බරපතල වැඩ ඇතිව හිරේ… නඩුව ඇහුවේ මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණයෙ දි. 2021 දි ඔක්තොම්බර්වලදි අදාල පුද්ගලයා සොයා අත්අඩංගුවට ගත්තා. සමාජ මාධ්‍ය අපරාධ අංශය ඔහුට විරුද්ධව නොබිඳිය හැකි සියලුම තාක්ෂණික සාක්ෂි ගොනු කර තිබුණා. සති දෙකක් රිමාන්ඩ් කර ඇප මත සැකකරු නිදහස් කළා. යළි මාස හයකට පසු නඩුව කැඳවනු ලැබුවෙ පසුගිය පෙබරවාරි 21. එක නඩුවාරයයි කැඳවනු ලැබුවේ. එදින මහියංගනය මහේස්ත්‍රාත්වරයා වරදකරුට ලක්ෂ අටක වන්දියක් ගෙවන්න නියම කළා. ඔහුව වසර එක හමාරක් බරපතල වැඩ සහිතව දණ්ඩනයට නියම වුණා.“

දැනටමත් ඔබ වින්දිතයෙක් නම්, වින්දිත පාර්ශවයක හිතවතෙක්, මිතුරෙක්, නෑදෑයෙක් නම්... මේ කතාව විශ්වාස කරන්න. ඔබ සුරක්ෂිතයි. ඔබට ඔබ වෙනුවෙන් සටන් කරන්න අවකාශය තියෙනවා. ශක්තිමත් වෙන්න. කතා කරන්න. වෘත්තීයමය උපදෙස් අරගන්න. ක්‍රියාත්මක වෙන්න. ලෝකය ඔබ හිතන තරම් අසාධාරණ නැහැ...!


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now