“බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතයක්” - ධීවර හා නාවුක කටයුතුවලින් වළකින්නැයි අනතුරු ඇඟවීමක්
ශ්‍රී ලංකාවට කිලෝමීටර් 1,000ක් පමණ ඊසාන දෙසින්, වයඹදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි බලපෑම හේතුවෙන් බෙංගාල බොක්ක ආශ්රිත මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි අතර, මධ්‍යම, උතුරු සහ වයඹදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු තත්ත්වයට පත්විය හැකි බව සඳහන් වේ.
ඒ අනුව උතුරු අක්ෂාංශ 5ත් 22ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙනතුරු ධීවර හා නාවුක කටයුතුවලින් වළකින ලෙස ධීවර හා නාවුක ප්‍රජාවට දැනුම්දී තිබේ.
මේ වනවිට එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරතව සිටින පිරිස් සිටී නම්, වහාම එම ප්‍රදේශවලින් ඉවත්වන ලෙසද උපදෙස් ලබාදී ඇත. මේ අතර, ඉදිරි කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි නිවේදන සහ අනාවැකි පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත් වන ලෙසත් ධීවර හා නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.