වැඩ තහනමට ලක්වෙන නිළධාරීන් ගැන දැඩි තීරණයක් ගනී !

sri lanka suspended gagana news Sri lanka sinhala news today trending news Prison officials
By krishani Feb 08, 2022 04:25 AM GMT
krishani

krishani

Report

විනය විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වී වැඩ තහනමට ලක්වන බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, විවිධ දූෂණ ක්‍රියා සම්බන්ධව සහ සිරකරුවන්ට වද හිංසා කිරීම හෝ පහර දීම සිදුකිරීම හේතුවෙන් වැඩ තහනමට ලක්වන නිලධාරීන් නැවත සේවයේ පිහිටුවීම පරීක්ෂණ අවසන් වන තුරු සිදුනොකරන බවය.

වැඩ තහනමට ලක්වන නිලධාරීන් සම්බන්ධයෙන් සිදුකරන විනය පරීක්ෂණයන් සහ අධිකරණ කටයුතු අවසන් වන තෙක් ඔවුන් නැවත සේවයේ පිහිටුවීම පිළිබඳ සලකා නොබැලීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

විවිධ දූෂණ ක්‍රියාවලට සම්බන්ධ සහ සිරකරුවන්ට වද හිංසා හා පහර දීම් සම්බන්ධයෙන් නිලධාරීන් වරදකරුවන් වන්නේනම් ඔවුන් සේවයෙන් පහකිරීමට හෝ දැඩි දඬුවම් ලබා දීමට කටයුතු කරන බව චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.

මේ පිළිබඳ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් සියලුම අධිකාරීවරුන් වෙත දන්වා නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර ඊට සමගාමීව සියලු බන්ධනාගාරවලට ගොස් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඊට අමතරව බන්ධනාගාර රැඳවුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට නීති විරෝධී කටයුතු පිළිබඳ දැනුම්දීමට 0112 678 600 යන විශේෂ දුරකථන අංකයක් ද හඳුන්වා දී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now