හෙටින් ඇරඹෙන උසස් පෙළ විභාගය ගැන විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් ප්‍රකාශයක් !

sri lanka gagana news Sri lanka sinhala news today trending news AL examination
By krishani Feb 06, 2022 05:57 AM GMT
krishani

krishani

Report

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (07) ආරම්භ වීමට නියමිතය.

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා සඳහන් කළේ විභාග ශාලාධිපතිවරුන්, පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය අංශ එක්ව ඒ සඳහා සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවය.

විභාගය හෙට සිට ලබන මස 05 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙවර උසස් පෙළ විභාගය සඳහා සිසුන් 345,242 දෙනෙකු මධ්‍යස්ථාන 2,438කදී විභාගය සඳහා පෙනී සිටී.

කොරෝනා ආසාදිත සහ නිරෝධායනය වන අපේක්ෂකයින් සඳහා රෝහල් ආශ්‍රිත විශේෂ මධ්‍යස්ථාන 29ක් ද පිහිටුවා තිබේ.

මේ අතර උසස් පෙළ විභාගය පැවැත්වීමේදී වේලාව නිවැරදිව ප්‍රදර්ශනය කරන ලෙස සියලු විභාග ශාලාධිපතිවරුන්ට නියෝග කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා සඳහන් කළේය.

විභාග නීති රීති එලෙසම ක්‍රියාත්මක වන අතර විභාග ශාලාවට ඉලෙක්ට්‍රොනික මෙවලම්, ඉලෙක්ට්‍රොනික අත්ඔරලෝසු, ජංගම දුරකථන වැනි අනවශ්‍ය දේ රැගෙන ඒම තහනම් වේ.

විභාගය සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින්නේනම් 1911 ක්ෂණික දුරකථන අංකය හෝ 011- 2784208 හෝ 011 -2784537 අංක අමතන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.

මේ අතර විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති පාසල්හි ඩෙංගු මර්දන සහ ධූමායන කටයුතු සිදු කිරීම සඳහා මේ වන විටත් අදාළ බලධාරින් යොමුකර ඇති අතර අදාළ පාසල්වල විදුහල්පතිවරු විසින් ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා ප්‍රකාශ කළේය.

මේ අතර මෙවර උසස් පෙළ විභාගය සඳහා මුහුණ දෙන දරුවන් සෞඛ්‍ය සම්බන්ධයෙන් වැඩි අවදානයෙන් කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now