රුපියල් මිලියන 9000ක් ඉතිරි කරන ලංකාවේ අලුත්ම දෙළුම් ප්‍රභේද දෙකක් සොයා ගැනෙයි..

Mahinda Amaraweera Sri Lanka Ministry of Agriculture Economy of Sri Lanka
By Aruna Sep 18, 2023 05:28 AM GMT
Aruna

Aruna

Report

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි විද්‍යාඥයින් විසින් ශ්‍රී ලංකාවේ වගා කිරිම සඳහා නව දෙළුම් ප්‍රභේද දෙකක් හඳුන්වා දීමට සූදානමින් සිටින බව වාර්තා වනවා.

කෘෂි විද්‍යාඥයින් විසින් සිදු කරන ලද පර්යේෂණ මේ වන විට අතිශය සාර්ථක වී තිබෙන අතර ඉහළ අස්වැන්නක් සහිත ඉතාමත් මිහිරි රසින් යුත් මෙම දෙළුම් ප්‍රභේද දෙක කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් තවත් මාස කිහිපයකින් මෙරට වගාව සඳහා හඳුන්වා දීමට නියමිත බවයි පැවසෙන්නේ.

වියළි කලාපීය දේශගුණය යටතේ වගා කළ හැකි මෙම නව ප්‍රභේද දෙක මේ වන විට පර්යේෂණ වගාවන් නොරොච්චෝල හා වීරවිල ප්‍රදේශයේ කෘෂි පර්යේෂණ ගොවිපොළවල වගා කර ඇති අතර එම වගාවන් සාර්ථක වී තිබෙන බවයි වාර්තා වන්නේ.

කෘෂිකර්ම විද්‍යාඥයන් පවසන්නේ, මෙහි අස්වැන්න එක් ගසකින් මාස 08ක් තුළ කිලෝග්‍රෑම් 10 – 15 ත් අතර ලබා ගැනීමට අපේක්ෂා කෙරෙන අතර ගසක ආයු කාලය වසර 35ක් පමණ වන බවයි.

දැනට අප රටේ බහුලව වගාව සඳහා භාවිතා කරනු ලබන්නේ ආනයනික දෙළුම් විශේෂයන්.

දෙළුම් බීජ මෙන්ම පලතුරක් ලෙස භාවිතයට ගන්නා දෙළුම් වැඩි ප්‍රමාණයක් මෙරටට ආනයනය කරනු ලබන්නේ ඉන්දියාව හා වෙනත් රටවලින්.

දෙළුම් යනු දේශීය මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද වෙළෙඳපොළ තුළ ඉහළ ඉල්ලුමක් ඇති පලතුරක්.

විශේෂයෙන්ම පිළිකා රෝගීන් අතර ඉතාමත් ජනප්‍රිය මෙම පලතුර මෙරටට ආනයනය සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 9000ක පමණ මුදලක් වැය කරනු ලබයි.

මේ නිසා වාර්ෂිකව රටට අහිමි වන විදේශ විනිමය ප්‍රමාණය ඉතා විශාලයි.

මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මෙම නව දෙළුම් ප්‍රභේද දෙක කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරට හඳුන්වා දීම පසුගිය දා කෘෂිකර්ම අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.

මෙම දෙළුම් නව ප්‍රභේද වගා කිරීම සඳහා ගොවීන්ට නිකුත් කිරීම කරනු ලබන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රභේද නිදහස් කිරීමේ කමිටුවේ Verities Releasing Committee අනුමැතියෙන් පසුව බවයි පැවසෙන්නේ.

ReeCha