තලෙයිමන්නාරම වැලිපරයක අතරමංව සිටි සරණාගතයින් පිරිසක් නාවික හමුදාව බේරා ගනියි
තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ වැලිපරයක අතරමංව සිටි අසරණ වූ පුද්ගලයින් පිරිසක් ආරක්ෂිතව මුදවා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව තිබේ.
නාවික හමුදාව විසින් එම මුහුදු තීරයේ සිදුකරන ලද නිතිපතා මුර සංචාරයක් අතරතුරදී වැලිපරය මත රැඳී සිටි මෙම පිරිස නිරීක්ෂණය වී ඇති අතර, වහා ක්‍රියාත්මක වූ නාවික හමුදා කණ්ඩායම් විසින් ඔවුන්ව ආරක්ෂිතව මුදවා ගැනීමට කටයුතු කර ඇත.
මෙලෙස මුදවාගත් පිරිස අතර පිරිමි පුද්ගලයෙකු, කාන්තාවන් සිව්දෙනෙකු සහ අවුරුදු 02ත් 14ත් අතර වයස් කාණ්ඩවල පසුවන කුඩා ළමුන් තිදෙනෙකු සිටින බව නාවික හමුදාව තහවුරු කරයි.
දීර්ඝ මුහුදු ගමන සහ අයහපත් කාලගුණය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටි මෙම පිරිස වෙත අවශ්‍ය පානීය ජලය, ආහාර, ප්‍රථමාධාර සහ තාවකාලික නවාතැන් පහසුකම් ලබාදීමට ද නාවික හමුදාව පියවර ගත්තේය.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මොවුන් දකුණු ඉන්දියාවේ 'අනෛයූර්' සහ 'ඔක්කූර්' යන සරණාගත කඳවුරුවල සිට රාමේෂ්වරම් වෙරළ තීරය හරහා මෙරටට පැමිණ ඇති බවයි.
මොවුන් මීට පෙර ඉන්දියාවේදී සරණාගතභාවය ඉල්ලා සිටි පිරිසක් බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.
ආරක්ෂිතව මුදවාගන්නා ලද මෙම සරණාගතයින් පිරිස ඉදිරි නීතිමය සහ පරිපාලනමය ක්‍රියාමාර්ග සඳහා අදාළ රාජ්‍ය බලධාරීන් සහ පොලීසිය වෙත භාරදීමට නියමිත බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.