අනුරාධපුරයට පරිසර දිනය නිමිත්තෙන් සුබ ආරංචියක් - මැයි 30 සිට ජුනි 5 දක්වා පැවැත් වෙයි [VIDEO]
ජාත්‍යන්තර ජගත් පරිසර දිනය නිමිත්තෙන් වනාන්තර 5ක් රක්ෂිත වශයෙන් නම් කිරීමට රජය පියවර ගෙන ඇත.
ඒ අනුව අද (25) දින පැවති “ජගත් පරිසර දිනය 2026” පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට සහහාගී වෙමින් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කර සිටියේ, ඊට අමතරව “මූලගිය උල්පත්” ද රක්ෂිතයක් වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට බලාපොරොත්තු වන බවයි.
එබැවින් රිටිගල, අලියාවැටුණු වැව, බුලාගල, කෝන් කැටියාව සහ කලලංචිය රක්ෂිත වශයෙන් නම් කර ඇත.
එමෙන්ම හෙක්ටයාර 2,169ක ප්‍රමාණයක් අඩංගු වන මෙම වනාන්තර පහම අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත්වීම විශේෂත්වයක් වන බවද ඔහු පැවසුවා.
ඊට අමතරව පරිසර අමාත්‍යවරයා සඳහන් කළේ ජල සම්පත් මණ්ඩලය සහ මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධයෙන් කුඩා බුබුල දිය උල්පත් රක්ෂිතය ද ප්‍රකාශයට පත් කරන බවයි.
මේ අතර ජුනි 5 වෙනිදාට යෙදෙන ජාත්‍යන්තර ජගත් පරිසර දිනයෙහි තේමාව වන්නේ 'දේශගුණික ක්රියාකාරිත්වයන් සඳහා ගෝලීය කැඳවීම' යන්නයි.
ඒ ආශ්රයෙන් සකස් කරනු ලැබූ 'දළුලන්න ඉඩ දෙන්න - දේශගුණ විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් පෙළගැසෙමු' යන තේමාව යටතේ මෙරට පරිසර දිනය සමරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
එමෙන්ම පරිසර දිනයට සමගාමීව මෙරට පරිසර සතිය මැයි 30 සිට ජුනි 5 දක්වා පැවැත්වෙන බවද පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි මහතා වැඩිදුරටත් සඳහන් කළා.