ශ්‍රී ලංකාව ගැන ඉන්දියාවෙන් සතුටුදායක ආරංචියක්..

Sri Lanka India
By Aruna Jan 19, 2023 03:29 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුමට දැඩි ලෙස සහය දෙන බව ඉන්දියාව අවධාරණය කරනවා.

ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත විශේෂ ලිපියක් යොමු කරමින්.

අදාළ ලිපිය යොමු කර ඇත්තේ ඉන්දීය මුදල් අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු වන රජත් කුමාර් මිශ්‍රා මහතා විසින්.

එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු වන මූල්‍ය සහනය ලබා ගැනීම සඳහා රටක් ලෙස නිශ්චිතවම සහාය දෙන බවයි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තිරසරබාවය යථා තත්ත්වයට පත් කිරීමට අනුකූලව මූල්‍ය සහ ණය සහන සමඟ ශ්‍රී ලංකාවට සහය වීමට කැප වී සිටින බවද ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දන්වා තිබෙනවා.

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහ ණය සහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහය දක්වන වැඩසටහන යටතේ, ණය තිරසරබාවය යථා තත්ත්වයට පත් කිරීමට අනුකූල වනු ඇති බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.

ශ්‍රී ලංකාවේ සියලුම ණය හිමියන්ට සාධාරණත්වයක් ලබා දීම සඳහා සිදු කරන සියලු උත්සහයන්ට සහය ලබා දීමට සූදානම් බවයි ඉන්දීය මුදල් අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු වන රජත් කුමාර් මිශ්‍රා සිය ලිපිය මඟින් වැඩිදුරටත් දක්වා ඇත්තේ.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂා කරන ණය මුදල අමෙරිකානු ඩොලර් බිලියන 2යි දශම 9ක්.

එම ණය මුදල ලබා ගැනීමට නම් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අනිවාර්යෙන්ම සිදුවිය යුතුයි.

ඒ සඳහා ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශවික ණය දෙන්නන් වන ඉන්දියාව සහ චීනයේ සහය අනිවාර්යයි.

ශ්‍රී ලංකා රජයේ අපේක්ෂාව වන්නේ මේ වසරේ මුල් කාර්තුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂා කරන ණය මුදලෙන් කොටසක් හෝ ලබා ගැනීමටයි.

එහෙත් ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය සහනය ලැබීම බොහෝ දුරට මේ වසරේ දෙවන කාර්තුව දක්වා දිග් ගැස්සෙනු ඇති බවයි.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ඉන්දියාව ඉකුත් ජනවාරි මාසයේ සිට ජූනි මාසය දක්වා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 4ක පමණ මුදලක් ලබා දී තිබෙනවා.

ජාත්‍යන්තර පර්යේෂණ වාර්තාවලට අනුව ඉකුත් වසර අවසන් වන විට ශ්‍රී ලංකාව චීනයෙන් ණය වී ඇති මුදල අමෙරිකානු ඩොලර් බිලියන 7යි දශම 4ක්.

එය ශ්‍රී ලංකාවේ ණය බරින් 5න් 1කට සමාන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now