සමාජ මාධ්‍යයේ ඉන්න කාන්තාවන්ට පොලීසියෙන් හදිසි නිවේදනයක්
වංචනික පෙම්වතුන් සහ ආගන්තුක හිතවතුන්ගෙන් සිදුවිය හැකි අනතුරු සම්බන්ධයෙන් කාන්තාවන් දැනුවත් කරමින් ශ්‍රී ලංකා පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
පොලීසිය සඳහන් කරන්නේ, පසුගිය කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සමාජ මාධ්‍ය සහ වෙනත් සන්නිවේදන මාර්ග ඔස්සේ කාන්තාවන් ඉලක්ක කර ගනිමින් ඔවුන් රවටා ලිංගික අපයෝජනයට ලක් කිරීම සහ දේපළ කොල්ලකෑමේ සිදුවීම් රැසක් වාර්තා වී ඇති බවයි.
එමෙන්ම, විවිධ ආහාර සහ පාන වර්ග ලබාදී මත්ද්‍රව්‍ය හෝ වෙනත් රසායනික ද්‍රව්‍ය යොදා කාන්තාවන් මත් කිරීම හෝ සිහිසුන් කිරීමෙන් අනතුරුව ලිංගික අතවර සහ දේපළ සොරකම් කිරීමේ සිදුවීම් ද වාර්තා වී ඇති බව පොලීසිය පෙන්වා දෙයි.
මෙවැනි අපරාධවලින් ආරක්ෂා වීම සඳහා සමාජ මාධ්‍ය හරහා හඳුනාගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් සැලකිලිමත්ව කටයුතු කරන ලෙසත්, නාඳුනන පුද්ගලයන් සමඟ හුදෙකලා ස්ථානවලට යාමෙන් වැළකී සිටින ලෙසත් පොලීසිය මහජනතාවට උපදෙස් ලබාදී ඇත.
සැකසහිත පුද්ගලයන් හෝ සිදුවීම් පිළිබඳ තොරතුරු ඇත්නම් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දෙන ලෙස ද පොලීසිය ඉල්ලා සිටී.
