විභාගයට පෙර හදිසියේ දැඩි නීති පැනවීමෙන් අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි

Report

දකුණු කොරියාවේ වාර්ෂික විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයේදී කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් සිදුකරන වංචා වැළැක්වීම සඳහා අවසන් මොහොතේ හඳුන්වා දුන් දැඩි ආරක්ෂක ක්‍රියාමාර්ග හේතුවෙන් ඇති වූ ව්‍යාකූල තත්ත්වය මත එරට අධ්‍යාපන අමාත්‍ය චෝයි කියෝ-ජින් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව, 72 හැවිරිදි අමාත්‍යවරයා නොවැම්බර් 22 වැනිදා සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කර ඇති අතර, ජනාධිපති ලී ජේ-මියුන්ග් එය පැයකට පමණ පසු පිළිගෙන ඇත.

නොවැම්බර් 19 වැනිදා පැවැති දකුණු කොරියාවේ ප්‍රධානතම විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය වන 'සුනියුන්ග්' (Suneung) විභාගයට පෙර සහ එය පැවැත්වෙන අතරතුර හඳුන්වා දුන් නව ආරක්ෂක ක්‍රියාමාර්ග හේතුවෙන් සිසුන්, දෙමාපියන් සහ විභාග නිරීක්ෂකයන් අතර දැඩි නොසන්සුන්තාවක් ඇතිවිය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ජාතික විභාග කළමනාකරණ ක්‍රමවේදය සහ ඊට අදාළ නීති රීති පුළුල් ලෙස සමාලෝචනය කරන ලෙස ජනාධිපතිවරයා නියෝග කර තිබේ. විභාගවල සාධාරණත්වය කිසිදු අවස්ථාවක පාවා දිය නොහැකි මූලධර්මයක් බව ද ජනාධිපති කාර්යාලය අවධාරණය කර ඇත.

විභාගයට පෙර හදිසියේ දැඩි නීති පැනවීමෙන් අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි | South Korea Education Minister Resigns

AI යොදාගෙන විභාග වංචා කළ බවට පාපොච්චාරණයක්

මෙම අර්බුදයට ප්‍රධාන හේතුවක් වූයේ සුනියුන්ග් විභාගයට දින කිහිපයකට පෙර දකුණු කොරියාවේ ජාතික සහතිකලත් බදු ගණකාධිකාරී විභාගයෙන් ඉහළම ස්ථානය ලබාගත් 34 හැවිරිදි හන් වොන්-සොක් විභාග වංචාවක් සිදුකළ බවට ප්‍රසිද්ධියේ පාපොච්චාරණය කිරීමයි.

2026 අප්‍රේල් මාසයේ පැවැති එම විභාගයේ පළමු අදියරේදී ප්‍රශ්න 160න් 159කට නිවැරදි පිළිතුරු ලබාදුන් ඔහු, ලකුණු 400න් 397.5ක් ලබාගෙන තිබිණි. දෙවැනි අදියරෙන් පසුව ද ඔහු සමස්ත ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන තිබේ.

නොවැම්බර් 15 වැනිදා සිය නීතිඥවරයාගේ යූටියුබ් නාලිකාව ඔස්සේ නිකුත් කළ වීඩියෝවකින් හන් හෙළිකර ඇත්තේ කුඩා කැමරාවක් භාවිතයෙන් ප්‍රශ්නවල ඡායාරූප ලබාගෙන ඒවා උත්පාදක කෘත්‍රිම බුද්ධි පද්ධතියකට යොමු කළ බවයි. අනතුරුව ස්මාර්ට් ජංගම දුරකථනයක් සහ කුඩා තිරයක් භාවිතයෙන් පිළිතුරු පරීක්ෂා කළ බව ද ඔහු සඳහන් කර තිබේ.

තමා අසමත් වූ සහතිකලත් රාජ්‍ය ගණකාධිකාරී විභාගයේ පළමු අදියර සඳහා ද එම ක්‍රමය භාවිත කළ බව ඔහු පිළිගෙන ඇත. පසුව සෝල් මෙට්‍රොපොලිටන් පොලිස් ඒජන්සිය වෙත භාර වූ හන්, අදාළ උපකරණ ද සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර තිබේ. එමෙන්ම, වංචාව හේතුවෙන් අසාධාරණයට ලක්වූ අවංක විභාග අපේක්ෂකයන්ගෙන් සමාව ද ඉල්ලා ඇත.

විභාගයට අවසන් මොහොතේ දැඩි ආරක්ෂක නීති

විභාගයට පෙර හදිසියේ දැඩි නීති පැනවීමෙන් අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි | South Korea Education Minister Resigns

මෙම හෙළිදරව්වෙන් පසුව AI තාක්ෂණය සහිත උපැස් යුවළ, කුඩා කැමරා සහ වෙනත් නවීන උපකරණ භාවිතයෙන් විභාග වංචා සිදුකිරීමේ අවදානම පිළිබඳව දකුණු කොරියානු බලධාරීන්ගේ අවධානය යොමුවිය.

සිසුන් 500,000ත් 550,000ත් අතර පිරිසක් පෙනී සිටින පැය අටත් නවයත් අතර කාලයක් පැවැත්වෙන සුනියුන්ග් විභාගය එරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ තීරණාත්මක සිදුවීමක් ලෙස සැලකේ.

ඒ අනුව, විභාගයට පෙර සහ විභාගය පැවැත්වෙන අතරතුර ආරක්ෂක ක්‍රියාමාර්ග රැසක් හඳුන්වා දීමට බලධාරීන් කටයුතු කළහ. විභාග මධ්‍යස්ථානවල Wi-Fi පහසුකම් සීමා කිරීම, ඇස් කණ්ණාඩි සහ අත්ඔරලෝසු පරීක්ෂා කිරීම, ඇඳුම්වල බොත්තම් සහ අත් ආශ්‍රිතව සැඟවුණු කැමරා තිබේදැයි සොයා බැලීම ඒ අතරට ඇතුළත් විය.

එමෙන්ම, ලිපිද්‍රව්‍ය භාවිතය පැන්සල්වලට සීමා කර තිබූ අතර, විභාග මධ්‍යස්ථානවලට අමතර නිරීක්ෂකයන් සහ විශේෂ උපකරණ පරීක්ෂකයන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් 8,400ක් පමණ යොදවා තිබේ.

භාර නොදුන් ජංගම දුරකථන හඳුනා ගැනීම සඳහා විභාගය පැවැත්වෙන කාලය තුළ ජාතික හදිසි අනතුරු ඇඟවීමේ පද්ධතිය හරහා අනතුරු ඇඟවීම් තුනක් ද නිකුත් කර ඇත. එමගින් සිදුවීම් 54ක් පමණ හඳුනා ගැනීමට හැකි වූ බව වාර්තා වේ.

අනවසර උපකරණ ළඟ තබාගත් සිසුන් 111ක් හඳුනාගනී

විභාගයට පෙර හදිසියේ දැඩි නීති පැනවීමෙන් අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි | South Korea Education Minister Resigns

දකුණු කොරියානු අධ්‍යාපන අමාත්‍යාංශය වාර්තා කර ඇත්තේ විභාගය අතරතුර අනවසර ස්මාර්ට් උපකරණ ළඟ තබාගත් අපේක්ෂකයන් 111 දෙනෙකු හඳුනාගත් බවයි. එම පිරිසෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇත්තේ හදිසි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමෙන් පසුව බව ද සඳහන් වේ. කෙසේ වෙතත්, මෙම සිදුවීම් සියල්ලම AI තාක්ෂණය යොදාගෙන සිදුකළ වංචා ද, නැතහොත් අවසර නොමැති උපකරණ ළඟ තබාගැනීම පමණක් ද යන්න පැහැදිලි වී නොමැත.

තහවුරු කරන ලද විභාග වංචා සම්බන්ධයෙන් ප්‍රතිඵල අවලංගු කිරීම, වසර 10ක් දක්වා නැවත විභාගයට පෙනී සිටීම තහනම් කිරීම සහ අපරාධ නඩු පැවරීම ඇතුළු දඬුවම් ක්‍රියාත්මක කළ හැකිය.

කෙසේ වෙතත්, අවසන් මොහොතේ හඳුන්වා දුන් දැඩි පරීක්ෂණ ක්‍රමවේද හේතුවෙන් සාමාන්‍ය ඇස් කණ්ණාඩි පවා ස්මාර්ට් උපකරණ ලෙස වරදවා වටහාගනු ඇතැයි ඇතැම් සිසුන් අතර බියක් ඇතිව තිබේ.

අමාත්‍යවරයාට එල්ල වූ විවේචන

විභාගයට පෙර හදිසියේ දැඩි නීති පැනවීමෙන් අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි | South Korea Education Minister Resigns

මෙම තත්ත්වය හමුවේ අධ්‍යාපන අමාත්‍ය චෝයි කියෝ-ජින් දැඩි විවේචනයට ලක්විය.

නොවැම්බර් 16 වැනිදා ජාතික සභාවේ අධ්‍යාපන කාරක සභා රැස්වීමකදී, AI භාවිතයෙන් සිදුකරන සියලුම වංචා හඳුනාගැනීමට බලධාරීන්ට හැකිදැයි විමසූ අවස්ථාවේදී, තම වයස හේතුවෙන් ඒ පිළිබඳ විශ්වාසයක් නොමැති බව අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි. එම ප්‍රකාශය දේශපාලන ක්ෂේත්‍රයේ සහ මහජනතාව අතර දැඩි විවේචනයට හේතු විය.

එමෙන්ම, විභාගයට පෙර පැවැති ප්‍රධාන මාධ්‍ය හමුවලට අමාත්‍යවරයා සහභාගී නොවීම සම්බන්ධයෙන් ද ප්‍රශ්න මතුව තිබේ. අදාළ නිවේදන බොහොමයක් නිකුත් කර තිබුණේ නියෝජ්‍ය අමාත්‍යවරයා විසිනි. ගුරු සංගම් ඇතුළු පාර්ශ්ව රැසක් බලධාරීන්ගේ ප්‍රතිචාරය ප්‍රමාද වූ බවට චෝදනා කළහ. ඒ අනුව, විභාගයට පෙර අවශ්‍ය සූදානම් කිරීම් නිසි ලෙස සිදුකිරීමට අපොහොසත් වීමේ වගකීම තමන් භාරගන්නා බව සඳහන් කරමින් චෝයි සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළේය.

දකුණු කොරියානු විභාග පද්ධතිය ගැන යළි අවධානය

1953 නොවැම්බර් 24 වැනිදා දකුණු කොරියාවේ දකුණු චුන්ග්චොං පළාතේ බොරියොං හි උපත ලැබූ චෝයි, ගුරුවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කර තිබේ.

ඔහු 2014 සිට 2025 දක්වා සෙජොං නගරයේ අධ්‍යාපන අධිකාරීවරයා ලෙස කටයුතු කළ අතර, 2025 සැප්තැම්බර් මාසයේදී ජනාධිපති ලී ජේ-මියුන්ග් යටතේ අධ්‍යාපන අමාත්‍ය ධුරයට පත්විය.

මේ අතර, AI තාක්ෂණය හේතුවෙන් සාම්ප්‍රදායික විභාග නිරීක්ෂණ ක්‍රමවේදවලට මුහුණදීමට සිදුව ඇති නව අභියෝග පිළිබඳව දකුණු කොරියාවේ අවධානය යොමුව තිබේ.

විභාග ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව මීට පෙර ද අවධාරණය කර තිබූ ජනාධිපතිවරයා, මෙම ගැටලුව සුනියුන්ග් විභාගයට පමණක් සීමා නොවන බවත් අනෙකුත් විභාගවලට ද බලපාන බවත් පෙන්වා දී ඇත.

එමෙන්ම, විභාගය නියමිත පරිදි පැවැත්වීමට ගත් තීරණයට එරෙහිව උසස් පාසල් සිසුවෙකු ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පෙත්සමක් ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. විභාගයේ ලකුණු දෙසැම්බර් මස මුලදී නිකුත් කිරීමට නියමිත අතර, සිදුවූ විෂමාචාර සම්බන්ධයෙන් ද සමාලෝචනයක් සිදුකෙරෙනු ඇත.

නොවැම්බර් 30 වැනිදා පාසල් වැසෙයිද? - අයවැයට එරෙහිව ගුරුවරු වෘත්තීය සමිති කළු විරෝධතාවක

නොවැම්බර් 30 වැනිදා පාසල් වැසෙයිද? - අයවැයට එරෙහිව ගුරුවරු වෘත්තීය සමිති කළු විරෝධතාවක

සිරිමාවෝට හා චන්ද්‍රිකාට ලිමිනි සමාන කරයි - පොහොට්ටුවේ අලුත් මෙහෙයුමක්

සිරිමාවෝට හා චන්ද්‍රිකාට ලිමිනි සමාන කරයි - පොහොට්ටුවේ අලුත් මෙහෙයුමක්

පවුලේ අයත් එක්ක ගිහින් පිරිසිදුවට මාළු ගන්න - පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි

පවුලේ අයත් එක්ක ගිහින් පිරිසිදුවට මාළු ගන්න - පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි