දුම්රිය පාරට අලි ආවොත් SMS පණිවිඩයක්
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් වල් අලින් දුම්රිය මාර්ගයට පැමිණෙන බවට හඳුනාගෙන ඇති ප්‍රදේශවල සිටින පුද්ගලයන්ගේ ජංගම දුරකතනවලට ඒ පිළිබඳ කෙටි පණිවුඩ යොමු කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර විසින් අදාළ ඉල්ලීම පෙරේදා (07 වැනිදා) සිදුකර තිබෙනවා. වල් අලීන් දුම්රිය ගැටීම් නිසා දුම්රිය භාවිත කරන මගීන් දැඩි අනාරක්ෂිත තත්ත්වයකට ලක්ව සිටින බවත් මෙමගින් දුම්රිය දේපළවලටද දැඩි අලාභ හානි සිදුවන බවත් දුම්රිය මාර්ගයේ හා මාර්ගය හරහා අලි ගැවසෙන ස්ථාන හා වේලාවන් පිළිබඳ තොරතුරු දුම්රිය දෙපාර්තමේන්තුවේ 1971 අංකය වෙත කෙටි පණිවුඩයක් ලබාදෙන ලෙස හඳුනාගත් එම ප්‍රදේශවල පුද්ගලයන්ට දැනුම් දී ඇති බවත් එම ලිපිය මගින් අවධාරණය කර ඇත.
නමුත් එම වැඩපිළිවෙළ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් 1971 දුම්රිය ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානයට ලැබෙන එම පණිවුඩය සියලුම ජංගම දුරකතන පරිශීලකයන්ට ලැබෙන ආකාරයේ කෙටි පණිවුඩ ක්‍රමයක් ක්‍රියාත්මකවීම කාලෝචිත බව නිරීක්ෂණය වී තිබෙන බවද සාමාන්‍යාධිකාරීවරයා විසින් ලිපිය මගින් පෙන්වා දී ඇත.
එම ලිපියෙන් ඉල්ලා සිටින්නේ එහි පළමු අදියර ලෙස දුම්රිය මාර්ගයේ වන අලි ගැවසෙන ස්ථාන පිළිබඳ තොරතුරු දුම්රිය පාලක මැදිරියේ 1971 අංකයට කෙටි පණිවුඩ මගින් දැනුම් දිය හැකි බවට කෙටි පණිවුඩයක් සියලුම ජංගම දුරකතන පාරිභෝගිකයන් වෙත යොමු කරන ලෙසයි.
එසේම වල් අලින් නිරන්තරයෙන් දුම්රිය මාර්ගවල සැරිසරන අවදානම් ප්‍රදේශවල වෙසෙන ජංගම දුරකතන භාවිත කරන පාරිභෝගිකයන් හට සතියකට වරක් බැගින් මාසයක් පුරාවටත්, මාසයකට වරක් බැගින් වසරක් පුරාවටත් අදාළ කෙටි පණිවුඩය මගින් දැනුවත් කිරීම සිදුකරන ලෙසද ඉල්ලා ඇත.
අදාළ අවදානම් සහිත කලාප වෙත ඇතුළු වන සියලුම ජංගම දුරකතන පාරිභෝගිකයන්ට එම කලාපවලට ඇතුළු වූ වහාම දැනුවත් කිරීමේ පණිවුඩය සිදුකරන ලෙසද සාමාන්‍යාධිකාරීවරයා කළ ඉල්ලීමේ සඳහන් වනවා.
