ලංගමයට අයත් ඩිපෝ 107 ක බස්වලට දැවැන්ත අර්බුදයක් - බස් රථ රැසක් නවතී
කතරගම බස් ඩිපෝවේ ටයර් හිඟය දැඩි වීම නිසා දුර ගමන් සේවා සහ ග්‍රාමීය මාර්ගවල ධාවනය වන බස් රථ රැසක් නතර වී ඇති බව සේවකයන් ප්‍රකාශ කරයි.
ඒ අනුව මෙම අර්බුදය කතරගම ඩිපෝවට පමණක් සීමා නොවූවක් බවත්, රට පුරා පිහිටි ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ 107 ම මෙම ගැටලුවට මුහුණ දී ඇති බවත් සඳහන්.
එමෙන්ම කතරගම සිට යාපනය, මහනුවර, කොළඹ, හලාවත සහ පස්සර හරහා බදුල්ල දක්වා දිවෙන බස් රථ රැසක් ධාවනයෙන් ඉවත් වී ඇති බව ද වාර්තා වේ.
එසේම වෙහෙරපැලැස්ස සහ මාගම ඇතුළු ග්‍රාමීය මාර්ග කිහිපයකම ප්‍රවාහන කටයුතු ඇනහිට ඇති බව පවසයි. මෙම තත්ත්වය නිසා බස් රථ ධාවනය නොවීම හේතුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට දිනකට රුපියල් බිලියන ගණනක විශාල මූල්‍ය අලාභයක් සිදුවන බව ද සේවකයන් පෙන්වා දෙයි.
මේ පිළිබඳව කළ විමසීමකදී ප්‍රධාන විධායක නිලධාරී ධම්මික රත්න මහතා ප්‍රකාශ කර ඇත්තේ, ටයර් සැපයුම්කරුවන් මිල ඉහළ නංවන ලෙස ඉල්ලමින් සැපයුම් අත්හිටුවා තිබීම මෙම අර්බුදයට මූලික හේතුව වී තිබෙන බවයි.
කෙසේ වුවද මේ වන විටත් අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා පවත්වමින් පවතින බවත්, ගැටලුව විසඳීමට කටයුතු කරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇති බව සඳහන්.